ගැඹුරු මුහුදේ අත්අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවක හෙරොයින් හා කොකේන් තොගයක් සොයා ගනී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 06 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව හා සැකකරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (08) දා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට ක්‍රියා කරන ලදී.

පසුගියදා නාවික හමුදාව අත්අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව හා සැකකරුවන් බාරයේ තිබූ සැකකටයුතු උර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒ තුල තිබී  හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 102 කට අධික ප්‍රමාණයක් හා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ ත්‍රිවිධ හමුදාව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය ඇතුළු ආයතන සියල්ල ජ්‍යාත්‍යන්තර ආයතන සමග එක්ව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ක්‍රියා කරන බවත් පසුගිය වර්ෂයේ දී පමණක් රුපියල් මිලියන 75,000 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවත් ජාතික ආපදා තත්ත්වය හමුවේ වුවද  ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වෙනුවෙන් විශාල  කාර්යභාරයක් මොවුන් විසින් සිදු කරන බවයි. එසේම වර්ථමානයේ පවතින ලෝක යුධ වාතාවරණය තුලදී පවා ජ්‍යාත්‍යන්තර සම්මුතීන්ට අදාලව සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරමින් මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් මුදා ගැනීමට දායකත්වයක් දක්වන බවද වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන් කළේ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය නීතිමය පියවර අවසන් වන තෙක් ඉතාම සුරක්ෂිතව තබා ඇති බවත් නීතිමය කටයුතු සිදු කරන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට රජය ඉඩ ලබාදී ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1818 හා 1987 ක්ෂණික දුරකථන අංක ඔස්සේ මහජනයාට තොරතුරු ලබාදිය හැකි බවයි.

මෙම අවස්ථාවට නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *