නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය ප්‍රමාදයකින් තොරව යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙනවා.. – අමාත්‍ය බිමල් රත්නායක
www.bbcmirror.lk
www.Lankawebnews.lk
පසුගියදා ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් ජීවිත, දේපළ මෙන් ම පොදු මහජනතාවට සමීප, තීරණාත්මක යටිතල පහසුකම්වලට විශාල හානි සිදුවිය. ඒ අතර මෙරට දුම්රිය මාර්ග පද්ධතියට ද බරපතල හානි විය. සිදුවූ මාර්ග හා පාලම් හානි යථාවත් කිරීම “Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
දිට්වා ව්‍යසනයෙන් වැඩිම හානි වූ මාර්ග අංක 01 කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර පිහිටි ඇල්ජින් දිය ඇල්ල ආශ්‍රිතව සිදුකරමින් පවතින අවසන් අදියරේ ඉදිකිරීම් සොයා බැලීමට බිමල් රත්නායක අමාත්‍යවරයා 2026.03.25 වන දින ක්ෂේත්‍ර පරීක්ෂණයක නිරත විය.
දිට්වා ව්‍යසනයෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට අඹේවෙල දක්වා වූ මාර්ග කොටසේ ස්ථාන 14 ක් නායයාම්, ගිලා බැසීම් සහ සෝදා පාලුවීම් වලට ලක්ව බරපතල ලෙස හානියට පත්ව තිබිණ. එයින් ස්ථාන 13 ක ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර යථා තත්ත්වයට පත්කර ඇත. මෙම මාර්ගයේ ගිලා බැසීමකට ලක්ව බරපතල හානි සිදුව ඇති ඇල්ජින් ඇල්ල ආශ්රිත ප්‍රදේශයේ දැනට සිදු කරමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉදිකිරීම්වල නිරත දුම්රිය තාක්ෂණ සේවා අංශයේ නිලධාරීන් සහ සේවක කණ්ඩායම් සමග අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ප්‍රමාදයකින් තොරව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු සහයෝගයන් ලබාදෙන බවත් මාස 04 ක් තිස්සේ විවිධ දුෂ්කරතා විදිමින් එක දිගට ඉදිකිරීම් සේවාවල නිරත සේවක පිරිස්වල පහසුකම් සොයා බැලීම මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ බවයි.
එමෙන් ම උඩරට දුම්රිය මාර්ගයේ දැනට දුම්රිය ධාවනය වන්නේ රඹුක්කන දක්වා පමණක් බැවින් ඉතිරි මාර්ග කොටස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමත සැලසුමට අනුව විධිමත්ව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවත් පස සංරක්ෂණ ක්‍රමවේදයන් ඇති කරමින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය රජය පාර්ශ්වයෙන් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සදහා ජාත්‍යන්තරව පිළිගත් පළපුරුදු සමාගම් යොදා ගනිමින් ජූනි මාසය අවසන් වනවිට නිම කිරීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික හා සංචාරක ක්ෂේත්රවලට විශාල ලෙස බලපාන මෙම මාර්ගය, ප්‍රදේශය සාමාන්‍ය ජනතාව තම එකම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිත කිරීම පිළිබද විශේෂ අවධානය යොමුකල අමාත්‍යවරයා, ඔවුන්ට පවතින දුෂ්තරතාවයන්ද කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (ඉහළ දිස්ත්‍රික්කය) ධනුෂ්ක දිසානායක මහතා ඇතුලු දුම්රිය දෙපාර්මේන්තුමේ නිලධාරීහු එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

