රාගම පුනරුත්ථාපන රෝහලේ තාක්ෂණික සංවර්ධනයට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහය BBCMirror.lk CNNMirror.lk asianewsplusone.com sfmnewslk.com

ශාරීරිකව ආබාධ සහිත රෝගීන්ට විශේෂිතව ප්‍රතිකාර කෙරෙන මෙරට ප්‍රධානතම හා විශාලතම රෝහල වන රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය රෝහලේ තාක්ෂණික සංවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට අවධානය යොමුකර තිබේ. ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අමාතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ද වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එම රෝහලේ සිදුකළ නිරික්ෂණ චාරිකාවක ප්‍රතිඵලයක් ලෙස රෝහලේ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සුත්‍ර හා රෝගී සත්කාර සේවා කටයුතුවල සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහයෝගය හා උපදේශනය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහය ලබා දීමට තීරණය කරන ලදි.
ඒ අනුව අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන්හි විශේෂඥයින් පිරිසක් ද රාගම පුනරුත්ථාපන රෝහලේ නිරික්ෂණයක යෙදී රෝහලේ සිදුකෙරෙන අවයව ආදේශක නිර්මාණය, කාර්මික උපකරණ නිපදවීම සහ අංගාදේශක හා සෘජුකාරක පුහුණු පාසලේ කටයුතු පිළිබඳව තාක්ෂණික ඇගයීමක් සිදු කළහ. එම තාක්ෂණික ඇගයීමට අනුව රෝහලේ තාක්ෂණික සංවර්ධනය සඳහා විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඒ යටතේ ඇති නර්ඩ් ඇයතනය, ආතර් සී. ක්ලාක් ආයතනය මෙන්ම කැළණිය විශ්ව විද්‍යලයීය තාක්ෂණ පීඨය හා පුනරුත්ථාපන රෝහල අතර වගකීම් බෙදා ගැනීම තුළින් ශක්තිමත් තාකෂණ සහයෝගීතාවයක් ගොඩනැගීමට එකඟතාව පළ වී තිබේ.
නවීන තාක්ෂණික හා ඉංජිනේරු ක්‍රමවේද ඔස්සේ උපකරණ නවීකරණය කිරීම, උසස් ද්‍රව්‍ය භාවිතා කිරීම, නිෂ්පාදන පද්ධති වැඩිදියුණු කිරීම, තාක්ෂණික කාර්ය මණ්ඩලය සඳහා පුහුණුව සහ ධාරිතා සංවර්ධනය මෙන්ම සහයෝගී පර්යේෂණ සඳහා ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන ඒකකයක් ස්ථාපිත කිරීම ආදී ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂිතය.
නිෂ්පාදන ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ රෝද පුටු, කෘත්‍රිම පාද සහ අංග ආධාරක උපාංග දේශීයව ලබා ගැනීම පහසු කිරීම, නවෝත්පාදනයන් තිරසරව පවත්වාගෙන යාමට හැකි දක්ෂ රෝහල් කාර්ය මණ්ඩලයක් නිර්මාණය, ආනයනික පුනරුත්ථාපන උපකරණ මත යැපීම අඩු කිරීම, සහයෝගී පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම්, සෞඛ්‍ය සේවා සහ ඉංජිනේරු අංශ අතර ශක්තිමත් හා අඛණ්ඩ හවුල්කාරිත්වයක් ගොඩනැගීම යන සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කෙරේ. මේ සඳහා දෙපාර්ශ්වයේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර කැබිනට් අනුමැතියක් ලබා ගැනීමටත්, ඉන් අනතුරුව ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් නියමිතය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,
තාක්ෂණික සංවර්ධනය මගින් රෝගීන් සුවපත් කර ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය ඉහල නංවීම මෙම වෑයමේ අරමුණ බවත්, අප අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිර්මාණය කිරීමට යෝජිත වෛද්‍ය පර්යේෂණ කේන්ද්‍රය තුළින් මෙම අපේක්ෂිත අරමුණු පහසුවෙන් ජයගත හැකි බවත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවි, රක්තවේද හා පුනරුත්ථාපන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රගුප්ත රණසිංහ, ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, නර්ඩ් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජයතු සමරවික්‍රම,යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.
නිත්‍ය සිල්වා
ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්


