ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය ලබා දෙනවා

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය පිළිබඳ චීන රජයත්, ජනතාවත් මහත් සේ කණගාටුවට පත්වන බව ප්‍රකාශ කළ උප සභාපතිවරයා, ආපදාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට චීන රජය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවද සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද ඔහු පැවසීය.

මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දෙමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළේය.

විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *