රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද(19) ඇරඹේ….!

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන Dream Destination වැඩසටහන යටතේ දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කොට මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය මේ වන විට ආරම්භ කර ඇත.

ඒ යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ අගනගරයට ඉතා නුදුරු වැල්ලවත්ත සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  දින (19) සිදු කෙරින.

මෙම ව්‍යාපෘතියේ පලමු අදියර ගාල්ලේ තල්පේ දුම්රිය ස්ථානයෙන් පසුගිය වසරේ අරම්භ කර නවීකරණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් පසු ජනතාවගේ පරිහරණය⁣ට මේ වසරේදී ලබා දී ඇත.

මෙම ව්‍යපෘතිය යටතේ නාරාහේන්පිට, දෙහිවල,පොලොන්නරුව,මහනුවර,මහනුවර- සරසවි උයන, මරදාන ඇතුළු දිවයිනේ පිහිටි ඌන පහසුකම් සහිත දුම්රිය ස්ථාන රැසක් රාජ්‍ය පෞද්ගලික පිරිවැය සහ සේවා දායකත්වය මත පූර්ණ නවීකරණයකට ලක් කරමින් පවතී.

අද දින නවීකරණ කටයුතු ආරම්භ කල බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දිගුකාලීනව පවතින අඩුපාඩු සියල්ල මාස 5 ක් ඇතුලත යථාවත් කිරීමට සැලසුම් කර ඇත.මේ යටතේ මගී වේදිකාව නවීකරණය සහ පිරිසිදුකම වැඩිදියුණු කිරීම, ආලෝක හා ආරක්ෂණ කැමරා පද්ධති ස්ථාපනය,වැසිකිලි සහ මගී ආසන වැඩිදියුණු කිරීම ආබාධිත පුද්ගලයින්ට පහසු ප්‍රවේශ මාර්ගයක් සැකසීම, දුම්රිය කාලසටහන් ප්‍රදර්ශන පුවරු විධිමත් කිරීම, දුම්රිය ස්ථානයේ වහලය සම්පූර්ණයෙන්ම සකස් කිරීම ,දිරාපත්වෙමින් පවතින වැසි ජලයට නිරාවරණය වූ යකඩ පඩිපෙල ශක්තිමත්ව ඉඳිකිරීම ඇතුළු අංගයන් කාලගුණයට ඔරොත්තු දෙන පරිදි දිනපතා ගමන්කරැවන්ට ආකර්ෂණීය පොදු ස්ථානයක් ලෙස නවීකරණය  කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා රැපියල් ලක්ෂ 600 ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මාස පහක ඉඳිකිරීම් කාලයක් තුල නවීකරණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ ව්‍යපෘතියක් ලෙස Dawoodi Bohras ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් සිදුකෙරේ. ඉඳිකිරීම් සේවා සැපයීම Amic Engineering Private Limited ආයතනය සිදු කරනු ලබයි.

නවීකරණ ඇරඹුම් අවස්ථාවට එක්වූ විෂයය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වමින්

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් රාමලාන් මාසයේ අවසානය සමරන මෙම අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය කාර්යයක් අරඹීමට හැකිවීම ගැන සතුටට පත්වනවා. මෙය රැපියල් ශත වලින් වටිනාකම් ගණනය කරන කාර්යයක් නොවේ.  රට තුල ආගමික සහජීවනය, ජාතික සමගිය පවතින පාලනයක් කාලයක් තුල බොරා ප්‍රජාව විදියට මෙවැනි ජනහිතකාමී කාර්යයක් ඇරඹීමට දායක වීම විශාල ආදර්ශයක්. බෝරාවරැන්ගේ ආගමික මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි සංවර්ධන කාර්යයකට සහය දැක්වීම විශේෂත්වයක්. මෙම ස්ථානයේ විදේශීය බෝරා ජනතාව සඳහාත් සියලු ආගමික ජනතාවටත් සිටිය හැකි රට කියන පණිවුඩය දුන්නේ ඔබලා. ශ්‍රී ලංකාවේ බෝරා ජනතාව ලෙස ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා. රට වෙනුවෙන් තියෙන කැපවීම ගැන විවිධත්වය ඇති රටක් හදන්න Platform එක මෙම වැඩපිලිවෙල තුලින් ක්‍රියාත්මක වනවා.

විවිධත්වයට ගරැ කරමින් එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස රට ක්‍රියාකරන යුගයක බෝරා ප්‍රජාව ලබා දෙන දායකත්වය සුවිශේෂී වනවා. සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජනතාව එකම ශ්‍රී ලාංකීය ප්‍රජාවක් ලෙස මේ රට ගොඩනැගීමට එක්වීම අවශ්‍ය වනවා. සියලු දෙනා නපුරට එරෙහිව ,නපුර පරාජය කොට සමගිය සාමය සමානාත්මතාව සහෝදරත්වය පිරි සමජයක් ගොඩ නැංවීමට වෙන කරවදාකටත් වඩා අද අවශ්‍යව තිබෙනවා.

මෙම දුම්රිය ස්ථානය නවීකරණයට සමගාමීව කොළඹ සිට දිවෙන මැරීන් ඩ්‍රයිව් මහාමාර්ගය හරහා ස්ථාපිත බම්බලපිටිය ගුවන් පාලම ඉදිරි මාස පහ ඇතුලත ප්‍රතිසංස්කරණය කරන ලෙසටත් දුම්රියපල ඉදිරිපිට ඇති නිල නිවාස වැඩිදියුණු කිරීම හෝ අලුතින් ඉඳිකිරීම පිලිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම නාගරික සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් බම්බලපිටිය නාගරික පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය. එමෙන්ම දුම්රිය ස්ථාන නවීකරණයෙන් පසු එහි භෞතික ආරක්ෂාව සහතික කිරීම සඳහා දුම්රිය ආරක්ෂක බලකායේ අධිකාරීවරයාට ඒ සඳහා විශේෂ අරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසටද දැනුම් දීම අමාත්‍යවරයා විසින් සිදු කෙරින.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, වෛද්‍ය රිස්වි සාලි, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, Clean Sri Lanka ව්‍යපෘතියේ අතිරේක ලේකම් ඉංජිනේරැ එස් පී සී සුගීෂ්වර, Dawoodi Bhoras ශ්‍රී ලංකා ප්‍රජාවගේ ව්‍යාපෘති සම්බන්ධීකාරක හුසෙයිමා ජැපර්ජි ඇතුළු පූජකවරැන් රැසක්ද දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ඳ්‍ර පද්මප්‍රිය යන මහත්වරු  එක්ව සිටියහ.

මාධ්‍ය අංශය

ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යාංශය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *