කැලණි ගංගා ද්රෝණියේ ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් පොම්පාගාරයක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.56ක) ප්රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී තිබේ.
ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මගින් මෙම ප්රදානය ලබාදෙන අතර, ඊට අදාළ හුවමාරු පත්ර සහ ප්රදාන ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(28) මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේදී සිදු විය.
ශ්රී ලංකා රජය වෙනුවෙන් එම අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද, ජපාන රජය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති ISOMATA Akio මහතා ද හුවමාරු පත්රයට අත්සන් තැබූහ. ප්රදාන ගිවිසුමට ශ්රී ලංකා රජය වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ JICA ශ්රී ලංකා කාර්යාලයේ ප්රධාන නියෝජිත HONZU Shigeo මහතා අත්සන් තැබූහ.
වත්තල සහ පෑලියගොඩ ප්රදේශ ආවරණය වන මුදුන් ඇළ උප ද්රෝණියේ ගංවතුර ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි. ඒ යටතේ තත්පරයකට ජලය ඝන මීටර් 15ක් බැහැර කළ හැකි නව පොම්පාගාරයක් සහ නවීන SCADA අධීක්ෂණ හා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී වැසි ජලය කාර්යක්ෂමව බැහැර කිරීම තුළින් ප්රදේශයේ ගංවතුර අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ. එමෙන්ම ප්රදේශවාසීන්ගේ ජීවනෝපායන්, ව්යාපාරික ආයතන, කර්මාන්ත සහ ප්රවාහන යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට ද ව්යාපෘතිය දායක වනු ඇත.
පෑලියගොඩ ප්රදේශය වාණිජ, සැපයුම් හා ප්රවාහන කේන්ද්රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට සහ කොළඹ මහනගර කලාපයේ ගංවතුර කළමනාකරණය හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද මෙම ව්යාපෘතියෙන් සහාය ලැබෙනු ඇත.
ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) විසින් ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය, ආපදා අවදානම් කළමනාකරණය සහ තිරසාර නාගරික සංවර්ධනය සඳහා ජපානය ලබාදෙන අඛණ්ඩ සහාය මෙම ප්රදානයෙන් තවදුරටත් පිළිබිඹු වේ.

