තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානයක් (Technology Incubation Centre)ස්ථාපිත කිරීම BBCMirror.lk sfmnewslk.com

 

 

 

 

 

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වවුනියාව විශ්වවිද්‍යාලය ගිවිසුමකට එළඹෙයි.
උතුරු පළාතේ ව්‍යවසායකත්වය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර වර්ධනය පෝෂණය කිරීම අරමුණු කරගනිමින් තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානයක් සහ නවෝත්පාදන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සහයෝගීතාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වවුනියාව විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගිය දා සිදු කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතාත්, වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. අත්පුතරාජා මහතාත් දෙපාර්ශ්වය වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම යටතේ, අදාළ ව්‍යාපෘතියේ පළමු අදියර වන ආහාර නිෂ්පාදන පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 4 ක මූලික ප්‍රතිපාදන ලබා දීමට නියමිතය. ඉන් අනතුරුව පහසුකම තවදුරටත් සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා ජාතික තත්ත්ව යටිතල පහසුකම් (NQI) හරහා අතිරේක රුපියල් මිලියන 15 ක් ලබා දීමට ද නියමිතය.
මෙම නව රසායනාගාරය මගින් ආහාරමය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂණ සහ තත්ත්ව සහතික සඳහා සේවා සපයනු ලබන අතර, එය උතුරු පළාතට අත්‍යවශ්‍ය පහසුකමක් වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ජාතික හා ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන් සපුරාලීමටද මෙමගින් හැකියාව ලැබේ. මෙම මූලාරම්භය දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, නිෂ්පාදනවලට අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් වෙළඳපල තුළ කලාපීය නිෂ්පාදනවල තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටද ඉවහල් වනු ඇත.
මෙම සහයෝගීතාවය උතුරු පළාතේ නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ ගුණාත්මක යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එමගින් විශ්ව විද්‍යාල, කර්මාන්ත සහ රජය අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් වර්ධනය කෙරෙනු ඇත.

නිත්‍ය සිල්වා
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *