නුවරඑළියේ ඓතිහාසික යුද ස්මාරකය වල් බිහිවෙයි!

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

රණවිරු උරුමය නොසලකා හැරීම ගැන දැඩි විරෝධයක් – නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට පැවරීමත් ප්‍රශ්නයක්.

‘පුංචි එංගලන්තය’ ලෙස විරුදාවලිය ලත් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික යුද ස්මාරකය නිසි නඩත්තුවකින් තොරව වල් බිහිවී අප්‍රසන්න තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ දැඩි විරෝධය පළ කරති. පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූවන් සිහිපත් කිරීම සඳහා ඉදිකර ඇති මෙම ඓතිහාසික ස්මාරකය නොසලකා හැරීම නුවරඑළියේ ඓතිහාසික උරුමයට හා නගරයේ ගෞරවයට සිදුකරන හානියක් බවද ඔවුහු පෙන්වා දෙති.

නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන් වන නාලක දිනේෂ් රත්නායක සහ දිනේෂ් ලංකා ගීගනගේ යන මහත්වරුන් පෙන්වා දෙන්නේ, අතීතයේදී නුවරඑළිය මහ නගර සභාවේ අධීක්ෂණය යටතේ නිසි පරිදි නඩත්තු කරනු ලැබූ මෙම ස්මාරකය අද වන විට නොසලකා හැර ඇති බවයි. එහි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට පැවරීම සහ එම ආයතනයේ සන්නාම පුවරු ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන්ද ඔවුහු ප්‍රශ්න කරති.

ඔවුන් පවසන පරිදි, නුවරඑළිය මහ නගර සභාවේ පෙර පැවති පාලන සමයන්හිදී නගරාධිපතිවරුන්ගේ සහ නාගරික කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ස්මාරකය ගරු ගාම්භීර අයුරින් නඩත්තු කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමටත්, යුද්ධවලදී දිවි පිදූවන්ට ගෞරව දැක්වීමටත් සුදුසු පරිසරයක් එමගින් පවත්වාගෙන ගිය බවද ඔවුහු සඳහන් කරති.

එහෙත් ජාතික ජන බලවේගය ප්‍රමුඛ වත්මන් නුවරඑළිය මහ නගර සභා පාලනය යටතේ පසුගිය අප්‍රේල් මාසයේදී ස්මාරක භූමිය කසාගල ප්ලාන්ටේෂන් ආයතනයේ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සඳහා ලබාදී ඇති බවත්, එම කාලයේදී ආයතනයේ සන්නාම ප්‍රදර්ශනය කිරීමටද අවසර ලබාදී ඇති බවත් ඔවුහු චෝදනා කරති.

අප්‍රේල් මාසයේ නුවරඑළියට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන වසන්ත සැණකෙළි සමයේදී ස්මාරක භූමියේ නඩත්තු කටයුතු සිදුකර තිබුණද, මේ වන විට එම ස්ථානය වල් බිහිවී ඇති ආකාරය දැකගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

තවද, අධිකරණයේ නඩුවක් පවතින බවට ඔවුන් සඳහන් කරන ආයතනයකට මෙවැනි ඓතිහාසික ස්ථානයක කටයුතු පැවරීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කළ ඔවුහු, අදාළ තීරණයේ පසුබිම සහ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සඳහන් කළහ.

නුවරඑළියේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් රැකගැනීම සඳහා ජනතාව පෙරට පැමිණ අදාළ බලධාරීන්ට සංදේශයක් භාරදිය යුතු බවද ඔවුහු පැවසූහ. රට හා ජනතාව වෙනුවෙන් දිවි පිදූවන් සිහිපත් කරන ස්මාරකයක් මෙවැනි තත්ත්වයකට පත්වීමට ඉඩහැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔවුන්ගේ අදහසයි.

1922 නොවැම්බර් 11 වැනිදා විවෘත කරන ලද මෙම යුද ස්මාරකය පළමු ලෝක යුද්ධයේදී මියගිය නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයන් 17 දෙනකුගේත්, දෙවන ලෝක යුද්ධයේදී මියගිය තවත් තිදෙනකුගේත් නම් සිහිපත් කරයි. ඒ අනුව, මෙය හුදෙක් නගර මධ්‍යයේ පිහිටි ඉදිකිරීමක් පමණක් නොව, යුද්ධයේදී ජීවිත අහිමි වූවන්ගේ මතකය සහ ප්‍රදේශයේ ඓතිහාසික උරුමය නියෝජනය කරන වැදගත් ස්ථානයකි.

මේ අතර, ස්මාරකය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, අදාළ පෞද්ගලික ආයතනයට පසුගිය අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළි සමයේදී පමණක් වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම සඳහා එම ස්ථානය ලබාදී තිබූ බවයි.

වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු අවසන් වී ඇතත්, අදාළ ආයතනයේ නම සඳහන් මල් පෝච්චි රඳවන තවමත් ඉවත් කර නොමැති බවද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනය දැනුවත් කර මල් පෝච්චි රඳවන ඉවත් කිරීමටත්, ස්මාරක භූමිය කඩිනමින් පිරිසිදු කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඓතිහාසික යුද ස්මාරකයක වටිනාකම එහි ඉදිකිරීමට පමණක් සීමා නොවේ. එය සිහිපත් කරන ජීවිත පරිත්‍යාගය, ඓතිහාසික මතකය සහ අනාගත පරපුරට උරුම කරදිය යුතු වටිනාකම්ද ඒ සමඟ බැඳී පවතී. එබැවින් ස්මාරකය නිසි පරිදි නඩත්තු කිරීම, එහි පරිසරය පිරිසිදුව පවත්වාගෙන යාම සහ එහි භාරකාරත්වය පිළිබඳ පැහැදිලි වගකීමක් තහවුරු කිරීම නුවරඑළිය මහ නගර සභාව ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කාලීන අවශ්‍යතාවකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *