බාබකියු උදුන් නිවා කාමරවල නිදාගන්න එපා! – නුවරඑළිය ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂකගෙන් සංචාරකයන්ට විශේෂ අනතුරු ඇඟවීමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
කාබන් මොනොක්සයිඩ් විෂ වායුවෙන් මරණ පවා සිදුවිය හැකියි – නුවරඑළියේ මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා
නුවරඑළියට පැමිණෙන සංචාරකයන් බාබකියු (BBQ) උදුන් භාවිත කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්, ආහාර පිසීමෙන් අනතුරුව එම උදුන් නිවා නොදමා වසා ඇති කාමර තුළ තබාගෙන නිදාගැනීම ජීවිතයට පවා බරපතළ අනතුරක් විය හැකි බවත් නුවරඑළිය ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා අවධාරණය කරයි.
නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන්ගෙන සිටි අඹුසැමි යුවළක් බාබකියු උදුනක් භාවිත කිරීමෙන් පිටවූ කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආශ්වාස වීම හේතුවෙන් මියගොස් ඇතැයි සැක කෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි නැව් කපිතාන්වරයකු සහ ඔහුගේ 46 හැවිරිදි බිරිඳ මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන් මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටියදී තාවකාලිකව අසල නිවසක් කුලියට ගෙන එහි නවාතැන්ගෙන සිට තිබේ.
නුවරඑළියේ පැවති අධික ශීතල හේතුවෙන් රාත්‍රියේ බාබකියු උදුනක් කාමරය තුළ දල්වාගෙන නිදාගැනීම මෙම මරණවලට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර, වැඩබලන මහේස්ත්‍රාත් විජය වික්‍රම මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. දේහයන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙවැනි අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් කිත්සිරි හේරත් මහතා පැහැදිලි කළේ මෙවැනි අනතුරක් සිදුවන්නේ බොහෝ විට කාබන් මොනොක්සයිඩ් නමැති වායුව හේතුවෙන් බවයි.
“කාබන් මොනොක්සයිඩ් කියන්නේ වර්ණයක්වත්, ගන්ධයක්වත් නොමැති ඉතාමත් භයානක විෂ වායුවක්. අඟුරු හෝ වෙනත් ඉන්ධන සම්පූර්ණයෙන් දහනය නොවන අවස්ථාවලදී මෙම වායුව නිපදවෙනවා. විශේෂයෙන්ම බාබකියු උදුන් වසා ඇති කාමරයක් තුළ භාවිත කරන විට හෝ ආහාර පිසීමෙන් පසුවත් උදුන නිවා නොදමා කාමරය තුළ තබාගන්නා විට මෙම වායුව කාමරය පුරා පැතිරෙන්න පුළුවන්.
මෙහි තිබෙන භයානකම තත්ත්වය තමයි මෙම වායුවට කිසිදු ගන්ධයක් හෝ වර්ණයක් නොමැති නිසා එය ආශ්වාස කරන පුද්ගලයකුට තමන් විෂ වායුවක් ආශ්වාස කරන බව හඳුනාගැනීමට නොහැකි වීම. එමගින් රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනයට බාධා ඇතිවී මොළයට සහ හෘදයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩුවෙනවා. මුලින් හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය, දුර්වලතාව සහ නිදිමත වැනි ලක්ෂණ ඇතිවිය හැකියි. තත්ත්වය උග්‍ර වුණොත් සිහිසුන්වීම, හෘදයාබාධ සහ මරණය පවා සිදුවිය හැකියි.
විශේෂයෙන්ම රාත්‍රියේ නිදාගෙන සිටින පුද්ගලයන්ට මෙම අනතුර හඳුනාගැනීමට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා බාබකියු උදුනක් භාවිත කරලා අවසන් වූ පසුව එය සම්පූර්ණයෙන් නිවා, ආරක්ෂිත ස්ථානයක තැබීම අත්‍යවශ්‍යයි. කිසිම අවස්ථාවක අඟුරු උදුන් හෝ බාබකියු උදුන් නිවසක්, නිදන කාමරයක් හෝ වෙනත් වසා ඇති ස්ථානයක් තුළ භාවිත කරන්න එපා.
නුවරඑළියට පැමිණෙන බොහෝ සංචාරකයන් මෙහි පවතින අධික ශීතලෙන් ආරක්ෂා වීමට විවිධ ක්‍රම භාවිත කරනවා. ඇතැම් අය බාබකියු උදුන් කාමර තුළට රැගෙන ගොස් උණුසුම ලබාගැනීමටත් උත්සාහ කරනවා. එය කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවෙයි. විශේෂයෙන්ම සංචාරක හෝටල්, නවාතැන් පහසුකම් සපයන ස්ථාන සහ කුලී නිවාස හිමියන් තමන්ගේ අමුත්තන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි.
මෙවැනි සිදුවීම් නුවරඑළිය ප්‍රදේශයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම වාර්තා වී තිබෙනවා. ඒ නිසා මෙය එක් සිදුවීමකට පමණක් සීමා වූ ගැටලුවක් ලෙස නොසලකා සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස සැලකිය යුතුයි.
නුවරඑළියේ සංචාරය කිරීමට පැමිණෙන ජනතාවගෙන් මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ විනෝදය සහ උණුසුම වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානමට ලක්කරගන්න එපා කියලයි. බාබකියු උදුන් භාවිත කිරීමේදී ඒවා විවෘත හා හොඳින් වාතාශ්‍රය ලැබෙන එළිමහන් ස්ථානයක පමණක් භාවිත කරන්න. උදුන්වලින් ලැබෙන උණුසුම ලබාගැනීමට ඒවා කාමර තුළට රැගෙන යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. කාබන් මොනොක්සයිඩ් අනතුරක් ඇතිවූ බවට සැකයක් තිබේ නම් වහාම එම ස්ථානයෙන් පිටතට ගොස් හදිසි වෛද්‍ය සහාය ලබාගන්න.”
නුවරඑළිය ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා සංචාරක ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් කරමින් මේ බව පැවසීය.

