හැටන් නගරය උඩුයටිකුරු කරන “හැටන් ප්‍රිමියර් ලීග් 2026” ක්‍රීඩක වෙන්දේසිය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නිල ලාංඡනය උත්කර්ෂවත් අයුරින් එළිදැක්වේ.

​හැටන් නගර ඉතිහාසයට නවතම ක්‍රීඩා අත්දැකීමක් එක් කරමින්, හයවන වරටත් සංවිධානය කරනු ලබන “හැටන් ප්‍රේමියර් ලීග් 2026” (Hatton Premier League) සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩකයන් වෙන්දේසි කිරීම සහ නිල නිල ඇඳුම් (Jersey) හඳුන්වා දීමේ උත්සවය අද (31) හැටන් නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීම අරමුණු කරගත් මෙම මහා පරිමාණ ක්‍රිකට් සැණකෙළිය එළඹෙන මැයි මස 01, 02 සහ 03 යන දිනයන්හිදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

​වසර පහක සාර්ථක ඉතිහාසයකට හිමිකම් කියන මෙම “HPL” තරගාවලිය මෙවර පවත්වනු ලබන්නේ වඩාත් උණුසුම් මුහුණුවරකින් බව සංවිධායක මණ්ඩලය පවසයි.

ලෝක ප්‍රකට IPL තරගාවලියක අත්දැකීම හැටන් නගරයට සමීප කරවමින්, මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 100කට අධික පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවූ අතර, අද දින පැවති නිල වෙන්දේසියේදී කණ්ඩායම් 08ක් සඳහා දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය.

​ක්‍රීඩක වෙන්දේසියට සමගාමීව තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල නිල ක්‍රීඩා ඇඳුම් සහ ජයග්‍රාහී කුසලානය ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී විශේෂත්වයක් විය.

හැටන් නගරය කේන්ද්‍ර කරගනිමින් දක්ෂ ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය, ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සහ තරුණ ක්‍රීඩකයන්ට ජාතික මට්ටමේ අත්දැකීමක් ලබාදීම ප්‍රධාන අරමුණයි.

​හැටන් නගරයේ වෙළඳ ප්‍රජාවගේ පූර්ණ අනුග්‍රහය සහ සහයෝගීතාවය මත සංවිධානය වන මෙම ක්‍රිකට් සැණකෙළිය, නගරයට අලුත්ම උද්යෝගයක් සහ ආර්ථිකමය ප්‍රබෝධයක් එක් කරනු නොඅනුමානය. හුදෙක් ක්‍රිකට් තරගාවලියක් පමණක් නොව, මෙය හැටන් නගරයේ ක්‍රීඩා ලෝලීන්ට මෙතෙක් නොලැබුණු “කුඩා IPL” අත්දැකීමක් වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.

​අද දින පැවති මෙම මංගල වැඩසටහන සඳහා කණ්ඩායම් කළමනාකරුවන්, ප්‍රධාන අනුග්‍රහක භවතුන් මෙන්ම ප්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ. මැයි මස ආරම්භ වීමට නියමිත මෙම ක්‍රිකට් සටන හැටන් නගරයම උඩුයටිකුරු කරන සුවිශේෂී උළෙලක් වනු ඇතැයි දැනටමත් අපේක්ෂා කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *