මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඒවාට සම්බන්ධ ජාල පිළිබඳ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය.
ඔහුගේ ප්‍රකාශය අනුව, දිගු කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ නිදහසේ ක්‍රියාත්මක වූයේ ඇතැම් පිරිස්වල ආශිර්වාදය සහ බලපෑම් යටතේ බවයි. කෙසේවෙතත්, වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති අතර ජාවාරම් පාලනයට ක්රමානුකූල වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද ඔහු අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමේ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාව සක්‍රීය දායකත්වයක් ලබාදෙන අතර, විශේෂයෙන් නාවික හමුදාව ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට උපරිම සහය ලබාදෙන බවද සඳහන් කළ ඔහු, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම එහි මහමොළකරුවන් සහ මූල්‍යමය වශයෙන් සම්බන්ධ පිරිස් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් කරන බවද ප්‍රකාශ කළේය.

