දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් – වීථි වටිනාකම රු. බිලියන 3 ඉක්මවයි
Nwww.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
නාවික හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු අදාළ යාත්‍රාව අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. එහි තිබූ උර 10ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය පසුව පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී හෙළිවී ඇත්තේ අදාළ තොගයට කිලෝග්‍රෑම් 100කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කිලෝග්‍රෑම් 50කට අධික හෙරොයින් ප්‍රමාණයක් ඇතුළත් බවයි.
දික්ඕවිට ධීවර වරායේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික වන බවයි. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත ප්‍රමාණය තහවුරු කිරීම සඳහා නාවික හමුදාව විසින් තවදුරටත් ගණනය කිරීම් සිදුකරමින් පවතී.
ධීවරයින් පස්දෙනෙකුත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන උර තොගයක් සහිතව ගමන් කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (04) දිනයේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
එම මෙහෙයුමේදී යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ද අද උදෑසන යාත්‍රාව සමඟ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජයෙන් දැඩි පියවර
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායක වූ නාවික හමුදාවට විශේෂ ස්තුතිය පළ කළ ඒ මහතා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇති බවත්, ඒවා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට වගකීම් පවරා ඇති බවත් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් රුපියල් බිලියන ගණනක තොග අත්අඩංගුවට
නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව, 2025 වසර තුළ නාවික හමුදාව විසින් පමණක් රුපියල් බිලියන 75ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර තිබේ.
එසේම, ‘රටම එකට’ වැඩසටහන යටතේ රුපියල් බිලියන 109කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට නාවික මෙහෙයුම් දායක වී ඇති බව ද ඔහු පැවසීය.
2026 වසරේ මේ දක්වා කාලය තුළ නාවික හමුදා මෙහෙයුම් මගින් රුපියල් බිලියන 69ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් ආශ්‍රිතව පුද්ගලයින් 314,200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර ප්‍රබල ජාවාරම්කරුවන් 1,050ක් සිටින බව ද ඔහු සඳහන් කළේය.
තවද, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ බවට සැකකෙරෙන යාත්‍රා 63ක් සිය භාරයට ගෙන ඇති අතර, ඒ අතර බහුදින ධීවර යාත්‍රා 11ක් ද වන බව ප්‍රකාශ කෙරිණි. එම මෙහෙයුම්වලදී පුද්ගලයින් 353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙළිවිය.
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාවාරම්කරුවන්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොමැති බවත්, රටේ අනාගතය තීරණය කළ යුත්තේ ජාවාරම්කරුවන් නොව ජනතාව බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 1818 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අදාළ තොරතුරු බලධාරීන් වෙත ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

