යාපනය ඩෙල්ෆ්ට් දූපත්වාසීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවක් සපුරාලමින් එහි ඉදිකරන ලද ප්‍රථම ස්ථිර ඉන්ධන පිරවුම්හල වෙත මුහුදු මාර්ගයෙන් ඉන්ධන තොග සාර්ථකව ප්‍රවාහනය කර තිබේ.

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ මෙම ඉන්ධන තොග කන්කසන්තුරේ ජැටියේ සිට නෞකාවක් මගින් ඩෙල්ෆ්ට් දූපත වෙත ප්‍රවාහනය කර අභිනවයෙන් ඉදිකළ ඉන්ධන පිරවුම්හල වෙත ගොඩබා ඇත.

මෙතෙක් කල් ස්ථිර ඉන්ධන පිරවුම්හලක් නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත්වාසීන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා කුරිකට්ටුවාන් ඇතුළු ප්‍රදේශ වෙත යාමට සිදු විය. ඒ හේතුවෙන් ඔවුන්ට අධික ප්‍රවාහන වියදම්, විශාල කාලයක් නාස්ති වීම ඇතුළු දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබිණි.

මෙම ගැටලුවලට පිළියමක් ලෙස දූපතේ ප්‍රථම ස්ථිර ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තේය.

කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අතරතුර 2025 ඔක්තෝබර් මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් තැබුණු අතර, 2026 ජූලි මාසයේදී ඊට මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

මෙම නව ඉන්ධන පිරවුම්හල හරහා ධීවරයින්, ගොවීන්, ප්‍රවාහන සේවා සපයන්නන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු සෙසු දූපත්වාසීන්ට වඩාත් පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද, හදිසි වෛද්‍ය සේවාවන් සඳහා සහාය වීමටත්, ධීවර කටයුතු පහසු කිරීමටත්, දූපතේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට දායක වීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇත.

ඉන්ධන ලබා ගැනීමේදී තමන් මුහුණ දුන් දිගුකාලීන දුෂ්කරතාවලට විසඳුම් ලබා දීම පිළිබඳව ඩෙල්ෆ්ට් දූපත්වාසීහු මෙම නව ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කිරීම සාදරයෙන් පිළිගන්නා අතර, ඒ වෙනුවෙන් රජයට සහ ඊට දායක වූ සියලු පාර්ශ්වයන් වෙත සිය ස්තූතිය පළ කර සිටිති

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *