කැලණිය විශ්වවිද්‍යාලයෙන් බහුවිෂයීය පර්යේෂණ සම්මන්ත්‍රණයක් හෙට

Lankawebnews.lk

සරත් කුමාර පෙරේරා

කැලණිය විශ්වවිද්‍යාලීය පුස්තකාලය විසින් සංවිධානය කරනු ලබන බහුවිෂයීය පර්යේෂණ සම්මන්ත්‍රණය 2026 ඔක්තෝබර් 14 වැනිදා පෙරවරු 8.30ට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණික අධ්‍යයනාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කලාව හා මානව ශාස්ත්‍ර, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, විද්‍යාව, තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව සහ සමාජ විද්‍යාව යන ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

මෙහි පර්යේෂණ සැසි සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රධානී නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචින් මෙත්තානන්ද මහතා සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංශිතා මහත්මිය ඇතුළු විද්වතුන් සම්පත්දායකත්වය ලබා දීමට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති ආචාර්ය චමින්ද මහතා මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරයි.

විවිධ විෂය ක්ෂේත්‍රවල පර්යේෂණ දැනුම හුවමාරු කරගැනීම සහ නව පර්යේෂණ ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම සම්මන්ත්‍රණය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *