රටම එකට” ජාතික මෙහෙයුමේ සර්ව ආගමික සමුළුව අද ජනපති සහභාගිත්වයෙන්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන සර්ව ආගමික සමුළුව හෙට (05) පස්වරු 2.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර පසුගිය ඔක්තෝබර් 30 වැනිදාට වසරක් සම්පූර්ණ විය. මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් රජය විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ ජාතික වැඩපිළිවෙළ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල බිඳ දැමීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණු අතර වේ.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම ද මෙම ජාතික වැඩපිළිවෙළේ ප්රමුඛ අංගයන් වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද වාර්තාවලට අනුව, 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට 2026 ඔක්තෝබර් 29 වැනිදා දක්වා වූ පළමු වසර තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 310,984ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 18කට අධිකය. මේ අතර, නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදී පමණක් මෙම වසරක කාලය තුළ රුපියල් බිලියන 109ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම වසරක කාලයක් සඳහා අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට වෙන් කරන මුදලට ද වඩා ඉහළ අගයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් වර්ග අනුව සැලකීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2,836යි ග්‍රෑම් 901ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,551යි ග්‍රෑම් 909ක්, ගංජා කිලෝග්‍රෑම් 11,169ක්, කොකේන් කිලෝග්‍රෑම් 297ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 431ක් පමණ වේ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා ආගමික නායකයන්ගේ මඟපෙන්වීම සහ සහභාගිත්වය ලබාගැනීම මෙන්ම ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ සාමූහික දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

