විශ්වවිද්‍යාල ගාස්තු එක් දිනක් ප්‍රමාද වීමෙන්, ලාංකික සිසුවියක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ අවදානමක
විශ්වවිද්‍යාල ගාස්තු එක් දිනක් ප්‍රමාද වීමෙන්, ලාංකික සිසුවියක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ අවදානමක
www.bbcmirror.lk
www.Lankawebnews.lk
විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීමට එක් දිනක් ප්‍රමාද වීම හේතුවෙන් සිය උපාධි පාඨමාලාව අහිමි වී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ තර්ජනයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික සිසුවියක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
‘කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ’ (Coventry University) ‘ජාත්‍යන්තර ආගන්තුක සත්කාර සහ සංචාරක කළමනාකරණය’ (international hospitality and tourism management) පිළිබඳ උපාධිය හැදෑරීම සඳහා ඇය තේරී පත්ව තිබේ.
වසර තුනක මෙම පාඨමාලාව සඳහා වැයවන මුළු මුදල පවුම් 42,000 කි (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1.6 කි).
නවෝද්‍යාට අනුව, සිය පියා ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් මෙම පාඨමාලාව වෙනුවෙන් වැය කර ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන බැවින්, බ්‍රිතාන්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු මෙරට තුළ ඉහළ පෙළේ සංචාරක රැකියාවක් සඳහා අයදුම් කිරීම ඇයගේ සැලසුමයි.
එවන් බලාපොරොත්තුවක පසුවූ ඈ, ගාස්තු ගෙවීමේ පද්ධතියේ සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන්, විදේශීය සිසුන් සඳහා අනුග්‍රහය දක්වන විශ්වවිද්‍යාල සම්බන්ධ එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රීතීන් උල්ලංඝනය වීමේ ගැටලුවකට මේ වන විට මුහුණ දී සිටියි.
නවෝද්‍යා 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී උපාධිය ආරම්භ කර ඇති අතර ඇය පළමු වසර සාර්ථකව අවසන් කර තිබේ.
දෙවන වසරේ පළමු ගාස්තුව ලෙස පවුම් 8,000 ක් ගෙවීමට තිබූ අවසන් දිනය වී ඇත්තේ 2025 ඔක්තෝබර් 6 වැනිදාය.
ඇය එම මුදල ඔක්තෝබර් 3 වැනිදා බැංකුව හරහා ප්‍රේෂණය කළ නමුත්, පද්ධතියේ ප්‍රමාදයක් හේතුවෙන් මුදල විශ්වවිද්‍යාල ගිණුමට ලැබී ඇත්තේ ඔක්තෝබර් 7 වැනිදාය.
එනම් අවසන් දිනයට වඩා එක් දිනක් ප්‍රමාද වීමෙනි.
විශ්වවිද්‍යාලය විසින් මෙම ප්‍රමාදය බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කිරීමත් සමඟ ඇයගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය අහෝසි කර ඇති අතර ඇයට පාඨමාලාව හැදෑරීමට තිබූ අවස්ථාව ද අහිමි වී ඇත.
මේ වන විට ඇය බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම සඳහා නැවත අවසර ඉල්ලා අයදුම් කර ඇති අතර, එය ප්‍රතික්ෂේප වුවහොත් ඇයව පිටුවහල් කරනු ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නවෝද්‍යා,
“මම මගේ කොටස හරියටම කළා. අවසන් දිනයට කලින් මුදල් ගෙව්වා. පද්ධතියේ ප්‍රමාදයකින් මුදල් ලැබීම මගේ පාලනයෙන් බැහැර දෙයක්. මම හැම පන්තියකටම සහභාගී වුණු, ඉහළ ලකුණු ගත්ත ශිෂ්‍යයෙක්. මගේ තාත්තා ජීවිත කාලෙම හම්බ කරපු මුදල් නැති කරගෙන මට උපාධියක් නැතිව ලංකාවට යන්න වුණොත් මගේ ජීවිතේ විනාශ වෙනවා. මේ තීරණය හරිම අසාධාරණයි. මම ඉන්නේ දැඩි කම්පනයකින් සහ මානසික පීඩනයකින්.
විශ්වවිද්‍යාල උපාධියක් කිරීමට ලෝකයේ ඇති හොඳම රටක් තමයි බ්‍රිතාන්‍යය. මෙහි ඉගෙනීමෙන් මගේ මව් රටේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ හොඳ වෘත්තියක් කිරීමට මට ඇති අවස්ථාව ඉහළ යනු ඇතැයි මම සිතුවා.
පද්ධතියේ ප්‍රමාදයක් නිසා මගේ පියාගේ ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් ද අහිමිව, උපාධියක් නොමැතිව මම නැවත ශ්‍රී ලංකාවට ගියහොත් මගේ ජීවිතය විනාශ වනු ඇත. එක් දිනක ප්‍රමාදයක් මත පදනම් වූ මෙම තීරණය අතිශයින්ම දැඩි සහ අසාධාරණ එකක්.”
මේ සම්බන්ධයෙන් කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය සඳහන් කරන්නේ, පුද්ගලික තොරතුරු ගැන අදහස් දැක්විය නොහැකි බවත්, වීසා නීති රීතිවලට අනුකූල වීම තම වගකීමක් වන බවයි.
නවෝද්‍යාගේ නීතිඥ නාග කන්දයියා,
“ඇය ශ්‍රී ලංකාවෙන් පැමිණි ජාත්‍යන්තර ශිෂ්‍යාවක්. ඇයගේ දෙමාපියන් බ්‍රිතාන්‍යයේ ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් ආයෝජනය කර ඇත. විශ්වවිද්‍යාලයට මුදල් ලැබීමේ එක් දිනක ප්‍රමාදයකින්, ඔවුන් ඇය සම්බන්ධව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කිරීමටත්, අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමටත්, ඇයගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කප්පාදු කිරීමටත් පියවර ගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට දරුණු සහ ජීවිතයම වෙනස් කරන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත.”
මෙය ශිෂ්‍යයා සහ විශ්වවිද්‍යාලය අතර පවතින ගැටලුවක් බවත්, වීසා අවලංගු කරන්නේ විශ්වවිද්‍යාලය විසින් කරන දැනුම් දීමක් මත පමණක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
තොරතුරු : The Guardian වාර්තාවක් ඇසුරින්

