‘සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන් කිරීමෙන් පමණක් නොවේ” – ආරක්‍ෂක ලේකම් පවසයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 17 සිට 19 දක්වා චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමින්.

“සංවාද සහ සාකච්ඡා තුලින් කලාපීය සාමය ගොඩනැගීම” යන තේමාව යටතේ සමුළුව ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, ගෝලීය හා කලාපීය ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමූහික සංවාදයේ, කලාපීය සහයෝගීතාවයේ සහ අන්‍යොන්‍ය ගෞරවයේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදී.

“සෑම රටකම නීත්‍යානුකූල ආරක්‍ෂක අපේක්‍ෂාවන් අප සියලු දෙනා ඉතා බැරෑරුම් කොට සැලකිය යුතුයි, පුළුල් සංවාද සහ සාකච්ඡා ඔස්සේ රටවල් අතර පවතින විෂමතා සහ මතභේද සාමකාමීව විසඳා ගැනීම ප්‍රවර්ධනය කළයුතු අතර, මෙවැනි විවෘත කලාපීය සංවාද තුලින් කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ස්ථාවරව ඉදිරියට ගෙන යා යුතුයි…”

එහිදී ”සියලු ජාතීන්ගේ නීත්‍යානුකූල හා අනන්‍ය වූ ආරක්‍ෂක අපේක්‍ෂාවන්ට ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගත යුතුය” යනුවෙන් චීන ජනාධිපති Xi Jinping විසින් සිදුකළ ප්‍රකාශය උපුටා දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන් කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්‍යොන්‍ය අවබෝධය සහ නිර්මාණාත්මක ප්‍රවේශයන් ඔස්සේ ලබා ගන්නා සම්බන්ධතා තුළින් බවත් සඳහන් කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම ඉස්මතු කල ආරක්‍ෂක ලේකම්වරයා, ඉන්දියානු සාගර කලාපීය වඩාත් සාමකාමී, සහයෝගීතාවයෙන් යුතු, විවෘත සහ ගැටුම්වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සහතික කිරීමට ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම පිළිබඳව ද යලිත් අවධාරණය කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, ආසියානු කලාපයේ රටවල් හා බටහිර රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඇති කිරීමටත්, ආර්ථිකමය සහ සංස්කෘතිකමය සංවාදය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් සාමය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි.

වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට විශ්වාසය, අන්‍යොන්‍ය ගෞරවය සහ හවුල්කාරිත්වය මත ශ්‍රී ලංකාව සහ චීනය අතර ගොඩනැගුණු දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කිරීම විශේෂය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම සඳහා චීන රජය විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන්ම හමුදා පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජය ලබා දුන් දායකත්වය ද ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *