හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලද නඩුව

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සිද්ධියට අදාළව, පොලිසිය විසින් සිදු කරන විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ අද (26) කැඳවූ අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමින් රජයේ අධිනීතිඥවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විමසූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවයි.

විමර්ශනවලට අදාළව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන, දැනටමත් අධිකරණයට භාර දී ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඉදිරි විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් “යහපත්ව හා ඉතාමත් ආරක්ෂිත ලෙස” පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බව වින්දිත දැරිය අධීක්ෂණය කරන පරිවාස නිලධාරිනිය සඳහන් කළ අතර, දැරිය රඳවා සිටින ස්ථානය පිළිබඳව හෙළි කිරීමට පරිවාස නිලධාරිනිය උත්සාහ කළ අවස්ථාවේදී, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට දැනුම් දුන්නේ දැරිය රඳවා සිටින ස්ථානය හෙළි නොකරන ලෙසයි.

සියලු පාර්ශ්වවල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින්, නඩුව එළඹෙන අගෝස්තු මස 21 වන දින යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

මෙම නඩුවේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දෙවන සැකකාර වින්දිත දැරියගේ මව ද මෙදින අධිකරණය හමුවේ පෙනී සිටි බවයි දැක්වෙන්නේ.

අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි, අභයගිරිය චෛත්‍යාරාමාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමි සහ ථූපාරාමාධිපති ඥානින්ද හිමි යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද මෙම නඩුව දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණයේ අසුන්ගෙන සිටි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *