මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානයේ පැවති විශේෂ කාදිනල් සභාවට සහභාගී වෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් ජුනි 26 සහ 27 යන දෙදින තුළ වතිකානයේදී කැඳවනු ලැබූ දෙවන විශේෂ කාදිනල් සභාව (Extraordinary Consistory) සඳහා සහභාගීව තිබෙනවා.

පාප් වහන්සේගේ ආරාධනයෙන් කැඳවනු ලබන මෙම විශේෂ කාදිනල් සභාව, සභාවට හා ලෝකයට අදාළ වැදගත් කරුණු පිළිබඳව කාදිනල් මණ්ඩලයේ අදහස් හා උපදෙස් ලබාගැනීම සඳහා පැවැත්වෙන විශේෂ උපදේශාත්මක හමුවකි.

එහි ආරම්භය ජුනි 26 වන දින ශාන්ත පේදුරු බැසිලිකාවේදී ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ දිව්‍ය පූජාවෙන් සිදු විය.

අනතුරුව, VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී පැවති සැසි හතරකදී ශුද්ධෝත්තම පියතුමා සහ කාදිනල් මණ්ඩලය එක්ව සභාවේ හා ලෝකයේ වත්මන් තත්ත්වය, ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම, සංගමන ක්‍රියාවලිය සහ “Magnifica Humanitas” නම් පාප්තුමාගේ නව ආගමික ලේඛනය (Encyclical) සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණ.

මෙම හමුවේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සිය දිගුකාලීන දේවගැති හා ආධ්‍යාත්මික සේවා අත්දැකීම් ඇසුරින් අදාළ කරුණු පිළිබඳ සිය අදහස් හා අත්දැකීම් ශුද්ධෝත්තම පියතුමා සහ කාදිනල් මණ්ඩලය සමඟ බෙදා හදා ගනිමින් සාකච්ඡාවන්ට සාර්ථක දායකත්වයක් ලබා දුන්හ.

මෙම විශේෂ කාදිනල් සභාව සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 178 දෙනෙකු සහභාගී වූ අතර, එහි සමාප්ති උත්සවය ලෙස ජුනි 29 වන දින ශුද්ධ පේදුරු සහ ශුද්ධ පාවුල් අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධානත්වයෙන් ශාන්ත පේදුරු බැසිලිකාවේදී දිව්‍ය පූජාවක් පවත්වන ලදී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *