ආගමික සංහිඳියාවෙන් සමාජය ශක්තිමත් කිරීමේ නව පියවරක් : නුවරඑළිය
www.bbcmirrormedia.org
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අන්තර් ආගමික කමිටුව ඉදිරි තෙවසරට නව වැඩපිළිවෙළකට.
වසර පහක් පුරා අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ආගමික සංහිඳියාව හා සමාජ සහජීවනය වෙනුවෙන් ක්‍රියාත්මක වන නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව, ඉදිරි තෙවසර “ACT NOW” යන තේමාව සහිත නව වැඩපිළිවෙළක් සහිත ව්‍යාපෘතියක් යටතේ ප්‍රතිසංවිධානය කරමින් එහි සාමාජිකයන්ගේ දැනුම හා සමාජ සබඳතාවයන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් 31 වැනිදා පෙරවරුවේ නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ආගමික හා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
විවිධ ආගම් හා සංස්කෘතීන් නියෝජනය කරන පිරිස් එකම වේදිකාවකට එක්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූ අතර, වගවීම, සහජීවනය, වෙනස්කම් නොකිරීම, විශ්වාසය, හිමිකාරීත්වය සහ යහපැවැත්ම යන කරුණු මූලික කරගනිමින් සහභාගිවූවන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
එහිදී විවිධ ආගමික හා සමාජ පසුබිම්වල පුද්ගලයන් අතර විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර ගැනීම, මතභේද සාමකාමීව විසඳා ගැනීම සහ ප්‍රජාවක් ලෙස එකිනෙකාගේ අනන්‍යතාවන්ට ගරු කරමින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. මීට අමතරව සහභාගිවූවන්ගේ අන්තර් සබඳතා හා කණ්ඩායම් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් කණ්ඩායම් ක්‍රියාකාරකම් රැසක්ද පැවැත්විණි.
නව වැඩපිළිවෙළ යටතේ ආගමික නායකයන් අතර පමණක් නොව, විවිධ ආගමික හා ජාතික ප්‍රජාවන් අතරද විශ්වාසය, අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
විශේෂයෙන්ම ස්වභාවික ආපදා හෝ වෙනත් හදිසි තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී ජනතාව අතර අනවශ්‍ය බෙදීම් ඇතිවීම වැළැක්වීමත්, ආගමික නායකයන්ගේ සහ අන්තර් ආගමික කමිටුවේ ජාලය භාවිත කරමින් ජනතාවට කඩිනම් සහය ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ වැදගත් අරමුණක් බව සංවිධායකයෝ පෙන්වා දෙති.
ආපදා කළමනාකරණය, විනයගරුක හා වගකීම් සහගත සමාජයක් ගොඩනැගීම, සාමකාමී ප්‍රජා පරිසරයක් ඇති කිරීම සහ ආගමික විවිධත්වය සමාජ ශක්තියක් බවට පත් කිරීම සඳහා සියලු ආගමික නායකයන්ගේ සහ සිවිල් සමාජයේ සාමූහික දායකත්වය ලබා ගැනීමද මෙහිදී අවධාරණය කෙරිණි.
විවිධ ආගම් අදහන ජනතාව විශාල පිරිසක් සහජීවනයෙන් ජීවත්වන නුවරඑළිය වැනි බහු ආගමික හා බහු සංස්කෘතික දිස්ත්‍රික්කයක මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, ආගමික වෙනස්කම් බෙදීමකට නොව සමාජ එකමුතුවට පදනමක් කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිරෝෂා ඇන්තනි, සහකාර කළමනාකාර අයේෂා ජයවර්ධන සහ සම්බන්ධීකාර නිලධාරිනී ඉරේෂා උදේනි යන මහත්මීහුද සහභාගි වූහ.



