160 වන පොලිස් දිනය නිමිත්තෙන් හැටන් පොලිසියෙන් පස්වන වරටත් ලේ දන් දීමේ කඳවුරක් :

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පොලිසිය හා ජනතාව අතර සහෝදරත්වය තහවුරු කරන සමාජ සත්කාරයක්.

ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරය නිමිත්තෙන් ජනතාව වෙනුවෙන් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ හැටන් මූලස්ථාන පොලිසිය විසින් පස්වන වරටත් සංවිධානය කළ විශේෂ ලේ දන් දීමේ කඳවුරක් අද (03) හැටන් මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී පැවැත්විණි.

පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා අවශ්‍ය වන රුධිරය ලබාදෙමින් මානුෂීය මෙහෙවරකට දායක වීමයි.

පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයක් පමණක් නොව, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරන ආයතනයක් බව පෙන්වාදෙන මෙම වැඩසටහන, පොලිසිය හා ප්‍රජාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් බව සංවිධායකයෝ පෙන්වා දෙති.

හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා සහ කොටගල යුද හමුදා කඳවුරේ බ්‍රිගේඩියර් සාගර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මහජන ආරක්ෂක කමිටු උපදේශන සභාව සහ හැටන් මූලස්ථාන පොලිසිය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කුඩාගම ‘රිවිසඳ’ කාන්තා සමිතිය සක්‍රීය සහයෝගය ලබා දී තිබේ.

එමෙන්ම KPL Foundation, CT Groups සහ හැටන් ලයන්ස් සමාජය – Lions Club of Hatton 306-D10 විසින් වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබේ.

රුධිර බිඳුවක් තවත් මිනිසකුගේ ජීවිතයක් රැක ගැනීමට තීරණාත්මක විය හැකි බැවින්, මෙවැනි ලේ දන් දීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් ප්‍රජා සහභාගිත්වය වර්ධනය කරමින් රෝගීන්ගේ ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වා ගැනීමට දායක විය හැකි බව සංවිධායකයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරය සැමරීමේදී පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට පමණක් සීමා නොවී, ජනතාව සමඟ එක්ව මානුෂීය මෙහෙවරක නිරත වීම තුළින් පොලිසිය සහ ප්‍රජාව අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමද මෙම වැඩසටහනේ විශේෂත්වයක් වී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *