වසර නවයක් පවත්වාගෙන ගිය ස්වයං රැකියාවට වැට බැඳෙයි – ජීවනෝපාය අහිමි වූ කාන්තාවන් වස පානය කිරීමට සූදානම් බව කියමින් තලවකැලේදී විරෝධතාවක.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
තලවකැලේ නගරය මධ්‍යයෙන් ගලා බසින ඇළ මාර්ගය ආශ්‍රිතව වසර නවයකට ආසන්න කාලයක් පුරා ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකට ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ බලධාරීන් විසින් වැට බැඳීම හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ බව පවසන කාන්තාවන් දෙදෙනකු ඇතුළු පිරිසක් අද (26) තලවකැලේ නගරයේදී විරෝධතාවක නිරත වූහ.
අදාළ භූමිය ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියට අයත් බව පවසමින් බලධාරීන් විසින් හදිසියේම එම ප්‍රදේශය වට කර වැට ඉදිකිරීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන් පවත්වාගෙන ගිය ස්වයං රැකියා කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇති බව විරෝධතාකාරියෝ පවසති.
වසර නවයකට ආසන්න කාලයක් කිසිදු බාධාවකින් තොරව මෙම ස්ථානයේ සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය බවත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ තමන්ට විකල්ප ස්ථානයක් ලබාදීමකින් තොරව එක්වරම භූමිය වට කර වැට බැඳීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
දෛනික ආදායම මත යැපෙන තම පවුල්වල ජීවනෝපාය මේ හේතුවෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පවසන ඔවුහු, අදාළ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා නොදෙන්නේ නම් වස පානය කර ජීවිත හානි කර ගැනීමට පවා සිදුවන බවට දැඩි ලෙස අනතුරු ඇඟවූහ.
මේ අතර, තලවකැලේ නගරය මධ්‍යයෙන් ගලා බසින ඇළ මාර්ගය සහ එහි දෙපස පිහිටි භූමියේ නීත්‍යනුකූල අයිතිය සම්බන්ධයෙන් ද මෙහිදී බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
ඇළ මාර්ගයේ දෙපස පිහිටි භූමිය අයත් වන්නේ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියටද, තලවකැලේ – ලිඳුල නගර සභාවටද, නැතහොත් වෙනත් රාජ්‍ය ආයතනයකටද යන්න නිශ්චිතව අනාවරණය කරමින් අදාළ භූමියේ හිමිකම් හා මායිම් පිළිබඳව බලධාරීන් ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත.
නගරය මධ්‍යයෙන් ගලා බසින ඇළ මාර්ගයක දෙපස භූමිය සම්බන්ධයෙන් පවතින අයිතිය, ඇළ රක්ෂිතයේ සීමාවන් සහ එම භූමිය භාවිත කිරීම සඳහා අදාළ පුද්ගලයන්ට ලබාදී තිබූ අවසරයන් පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුවේ.
රාජ්‍ය ආයතනයකට යම් භූමියක් අයත් වන්නේ නම් එහි නීත්‍යනුකූල අයිතිය තහවුරු කිරීම මෙන්ම, වසර ගණනාවක් එම ස්ථානයේ ජීවනෝපාය පවත්වාගෙන ගිය ජනතාවගේ තත්ත්වය පිළිබඳවද මානුෂීය හා සාධාරණ ප්රවේශයකින් සලකා බැලීම බලධාරීන්ගේ වගකීමක් බව විරෝධතාකාරියෝ පෙන්වා දෙති.
එබැවින් අදාළ භූමියේ හිමිකම් ලේඛන, මිනින්දෝරු සැලසුම් සහ ඇළ රක්ෂිතයේ නියමිත සීමාවන් පරීක්ෂා කර, මෙම කාන්තාවන් මුහුණ දී සිටින ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ බලධාරීන්, තලවකැලේ – ලිඳුල නගර සභාව සහ අදාළ රාජ්‍ය ආයතන කඩිනමින් මැදිහත් විය යුතු බවට විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

