ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළුතර දකුණ, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමින් ජූලි 28 වන දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ අපේ ජනතාවගේ සිත්වලට වඩාත්ම අවශ්‍ය කරන්නේ සංයමය සහ ආධ්‍යාත්මික සැනසීමයි.

අපි අහලා තිබෙනවා නේරුතුමා සිරගත වූ අවස්ථාවේත් අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සමාධි පිළිමයක් ළඟ තබාගත් බව.

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමත් මම දකින්නේ සමස්ත ප්‍රදේශයේම බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුවන අතිමහත් මෙහෙවරක් ලෙසයි. විශේෂයෙන් ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහවලින් ⁣මෙවැනි ප්‍රථිමාවක් නිර්මාණය කිරීම අගය කළ යුතුයි.

රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා, ඒ වගකීම ඉටු කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී කාර්යභාරයක් රජය මේ වනවිට ඉටු කරමින් සිටිනවා

විශේෂයෙන්, තරුණ පරම්පරාවට ඓතිහාසික උරුමය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීමටත්, පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කරමින් ඒවා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත්කිරීමටත් කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඓතිහාසික විහාරස්ථාන රැකගැනීම කියන්නේ හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොවෙයි, අපගේ ජාතික අනන්‍යතාවය, සදචාරාත්මක පදනම සහ අගනා සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක්. භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවත්, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි. භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ, නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ද ප්‍රධාන අරමුණ යි.

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරය වැනි විහාරස්ථානවලින් සිදුවන්නේත් රජය අරමුණු කළ සමාජය යහමගට යොමුකිරීමේ සහ හික්මවීමේ උතුම් කාර්යභාරය යි. ඒ නිසා විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය තුළින් යහපත්, ගුණගරුක සහ බුද්ධිමත් දරු පරපුරක් බිහිකිරීමටත්, ප්‍රජා සමගිය ගොඩනැගීමටත් පූජනීය මහා සංඝරත්නයෙන් සහ විහාරස්ථානවලින් ලැබෙන මාර්ගෝපදේශනය රජයක් ලෙස අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *