රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව: හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ නඩුව අගෝස්තු 20දා විභාගයට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති රුපියල් මිලියන 600කට අධික වටිනාකමකින් යුත් අයථා වත්කම් නඩුව ලබන අගෝස්තු 20 වැනිදා කොළඹ මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ විභාගයට ගැනෙන අතර, එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් විත්තිකරු සතු බැංකු ගිණුම් පිළිබඳ වැදගත් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අධිචෝදනා අනුව, මර්වින් සිල්වා මහතා 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ, නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි විශාල වත්කම් ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් රුපියල් ලක්ෂ 1,823කට අධික වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු 10ක් පවත්වාගෙන ගොස් ඇති බවයි. ඒ අතර රුපියල් කෝටි 6ක තැන්පතුවක් මෙන්ම රුපියල් ලක්ෂ 366ක්, 365ක් සහ 225ක් ඉක්මවූ තවත් විශාල තැන්පතු කිහිපයක්ද ඇතුළත් බව සඳහන් වේ. එමෙන්ම රුපියල් ලක්ෂ 33කට අධික වටිනාකමින් යුත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් පහක්ද එම බැංකුවේ පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.
විත්තිකරු සිය බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා මහත්මිය සහ පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ ඒකාබද්ධ බැංකු ගිණුම් රැසක්ද පවත්වාගෙන ගොස් තිබේ. පෑන් ඒෂියා බැංකුවේ බිරිඳ සමඟ පැවති ඒකාබද්ධ ගිණුමක රුපියල් 2,140,199.36ක ශේෂයක්ද, සම්පත් බැංකුවේ පුත් සමඟ පවත්වාගෙන ගිය ගිණුමක රුපියල් 2,687,852.25ක ශේෂයක්ද 2010 වන විට පැවති බව නඩු වාර්තාවල සඳහන් වේ.
මීට අමතරව, මාලක සිල්වාගේ නමින් වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ රුපියල් මිලියන 15ක සහ 35ක තැන්පතු දෙකක්ද, දියණිය සන්දීපනී මලිකා සිල්වා සහ බෑනා වන එම්.සී. අගුළුගමුවගේ නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතුද පවත්වාගෙන ගොස් තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මර්වින් සිල්වා මහතාගේ නමින්ද එම ආයතනයේ රුපියල් මිලියන 14ක තැන්පතුවක් පැවති බව සඳහන් වේ.
බැංකු තුනක ජංගම ගිණුම්වල 2012 වන විට රුපියල් ලක්ෂ 47කට වැඩි මුදලක් ඉතිරිව තිබූ අතර, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක සහ DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතුද ඔහු සතුව තිබූ බව නඩු ලේඛනවල සඳහන් වේ.
විමර්ශනවලදී විත්තිකරු විසින් මිලදී ගෙන ඇති දේපළ පිළිබඳ තොරතුරුද අනාවරණය වී තිබේ. ඒ අනුව, කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක්, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් සහ කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක ඉඩමක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
එසේම, කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600ක මාසික බදු මුදලකට ලබාගෙන තිබූ බවද නඩුවේදී අනාවරණය වී ඇත.
විත්තිකරු අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ Porsche, Mercedes-Benz, Range Rover Sport, Land Rover, Hyundai ජීප් රථයක් සහ ලොරි රථ දෙකක් ඇතුළු වාහන හතක් මිලදී ගෙන ඇති බවද විමර්ශන මගින් හෙළි කර තිබේ.
ඊට අමතරව, සම්පත් හා සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් වසර දෙකක කාලයක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි භාණ්ඩ හා සේවා මිලදී ගෙන ඇති අතර, මූලාශ්‍රය පැහැදිලි නොකළ රුපියල් මිලියන 34.7ක ණය මුදලක්ද ගෙවා ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
රිතූ ආකර්ශා නම් තැනැත්තියකට රුපියල් 240,000ක මුදලක් ලබාදී ඇති බවද නඩු ලේඛනවල සඳහන් වන අතර, විත්තිකරුගේ නමින් ජීවිත රක්ෂණයක් නොතිබුණද, බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු හයක් පවත්වාගෙන ගොස් තිබූ බවද හෙළි වී තිබේ. ඒ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 13කට ආසන්න වාරික මුදලක් ගෙවා ඇති අතර, ඉන් රක්ෂණ ඔප්පු හතරක්ම මාලක සිල්වා වෙනුවෙන් ලබාගෙන තිබූ බවද වාර්තා වේ.
මෙම නඩුවේ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.
අධිචෝදනා අනුව, වසර දෙකක කාලයක් තුළ රුපියල් මිලියන 485කට අධික වත්කම් සමුච්චය කර ගැනීම සඳහා භාවිත කළ බව කියන ආදායම් මාර්ග පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරි නඩු විභාගවලදී අනාවරණය කිරීමට නියමිතය.

