හිටපු යුද හමුදාපති ෆිල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා ඝාතන ප්‍රයත්න නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17කට පසු ඇප

www.bbcmirror.lk

www.Lankawebnews.lk

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් 2006 වසරේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සැලකිල්ලට ගනිමින් කොළඹ මහාධිකරණය ඊයේ (30) ඇප නියම කළේය.

මෙලෙස ඇප හිමිවූයේ ශම්මුගලිංගම් සූරියකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් “ධනුෂ්” යන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලෙස සැලකෙන විත්තිකරුවන් දෙදෙනාටය.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල මහතා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව්දෙනෙකු මත ඔවුන් මුදාහැරීමට නියෝග කළද, එම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

අධිකරණය නියම කළ අනෙකුත් ඇප කොන්දේසි අනුව සෑම මසකම දෙවන හා සිව්වන ඉරිදා දිනවල උදෑසන ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත වාර්තා කළ යුතු අතර, විදේශ ගමන් බලපත්‍රද අධිකරණය භාරයට පත් කළ යුතුය.

විත්තිකරුවන් අභියාචනාධිකරණය වෙත ගොනු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, වසර 17කට අධික කාලයක් නඩු විභාගය අවසන් නොවී රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සැලකිල්ලට ගෙන මෙම ඇප නියෝගය ලබාදී තිබේ.

මෙම නඩුවේදී ඔවුන්ට එරෙහිව අධිචෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර, එම චෝදනාවලට වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර 20ක සිරදඬුවමක් නියම කළ හැකි බව අධිකරණයේදී සඳහන් විය.

2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුද හමුදා මූලස්ථානයේ ප්‍රවේශ දොරටුව අසලදී “දුර්ගා” නමින් හඳුන්වනු ලැබූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර, එම ප්‍රහාරයෙන් එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා බරපතළ තුවාල ලැබීය. එමෙන්ම ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු සහ සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම විත්තිකරුවන්ට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන්ද වෙනම නඩු පවරා තිබේ. ඒ අතරින් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුවෙන් ඔවුන් නිදහස් කර ඇති අතර, මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නඩුවේ ඇප ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන අගෝස්තු 7 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *