ඩෙංගු දූමායනයෙන් පරිසරයටත් අවදානමක් කීට විද්‍යා නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ඩෙංගු මදුරුවන් මර්ධනය සඳහා සිදුකරන දූමායන කටයුතු සාර්ථක මර්ධන ක්‍රමවේදයක් නොවන අතර, එමගින් පරිසරයටද අහිතකර බලපෑම් එල්ල වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මගින් දූමායන කටයුතු සිදුකළද, එය ඩෙංගු මර්ධනයට ඇති එකම විසඳුම නොවන බවයි.

මදුරුවාගේ ජීවන චක්‍රයේ බිත්තර, කීටයා, පිළවා සහ වැඩුනු මදුරුවා යන අවස්ථා හතරක් පවතින අතර, දූමායනය මගින් විනාශ වන්නේ වැඩුනු මදුරුවා පමණක් බවද ඔහු පැහැදිලි කළේය.

එමෙන්ම එක් වරක් දූමායනය කිරීම සඳහා රුපියල් 20,000කට අධික මුදලක් වැය වන අතර, භාවිත කරන කෘමිනාශක හේතුවෙන් මදුරුවන්ට අමතරව පරාගණය සඳහා වැදගත් වන මී මැස්සන් සහ බත්කූරන් වැනි හිතකර කෘමීන්ද විනාශ වීමෙන් පරිසරයට දැඩි හානියක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා,

“ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමත් සමඟම, ඒ ඒ ඩෙංගු රෝගියා වාර්තා වෙන ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මෙහෙයවීමෙන් ධූමායනය කටයුතු සිදු කරනවා. ඉතින් ජනතාව බොහෝ විට අපේක්ෂා කරනවා මේ ධූමායනය සිදුකිරීම ඩෙංගු රෝග මර්ධනයට තියෙන එකම විසඳුම කියලා. අපි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විදිහට කියන්න කැමතියි, ධූමායනයෙන් මැරෙන්නේ වැඩුනු මදුරුවා පමණයි. මදුරුවාගේ අවස්ථා හතරක් තියෙනවා. බිත්තර, කීටයා, පිළවා, වැඩුනු මදුරුවා. මෙයින් වැඩුනු මදුරුවා විතරයි ධූමායනයේදී මිය යන්නේ. එක වටයක් ධූමායනය කිරීම සඳහා රුපියල් විසිදහසකට අධික මුදලක් වැය වෙනවා. ධූමායනය කිරීමේ තියෙන තවත් ගැටලුවක් තමයි, මදුරුවා පමණක් නෙමෙයි මැරෙන්නේ.. බත්කූරෝ, මී මැස්සෝ ඒ වගේ ඵලදාව සහ පරාගනය සිදු කරන අපේ හිතවත් කෘමීන් මේ නිසා බොහෝ විට මිය යනවා. ඒක හින්දා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා ධූමායනයෙන්. ඒ නිසා ධූමායනය සිදු කරන්නේ විද්‍යානුකූලව අත්‍යවශ්‍ය හේතු මත පමණයි.”

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ, ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ (27) දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 52,068 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *