මෙරට සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරනවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මෙරට සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමේ සමාලෝචන නිර්දේශයන් පාදක කරගනිමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත  පසුගියදා පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් එම ප්‍රගති සමාලෝචනය  නිල වශයෙන් අවසන්  කරන ලද බව ප්‍රකාශ කරන ලදි.

මෙම සමාලෝචන කටයුතු අතරතුර, විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), අන්තර් විද්‍යාලයීය කමිටු ඇකඩමිය සහ විද්වතුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලද බව ද එම විශේෂඥයින් විසින්  අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සංවිධාන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය, පවතින අභියෝග සහ එය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ බව ද පැවසීය.

මෙම මෙහෙයුමේ විශේෂ අංගයක් ලෙස නියෝජිත පිරිස රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ බවත් එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) පිහිටුවීමේ වැඩපිළිවෙළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන නිරීක්ෂණය කළ බව ද විශේෂඥ කණ්ඩායම පෙන්වා දුන්නේය.

එම නිරීක්ෂණය කටයුත්තේ දී ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය සේවා සැපයීමේ සැබෑ තත්ත්වය පිළිබඳව සෘජු අත්දැකීම් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වු බව පැවසු අතර, ලබාගත් දත්ත සහ නිරීක්ෂණ පදනම් කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ තොරතුරු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණයක් (Universal Health Coverage) කරා යන ගමනේදී, එහි පදනම වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත්  කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ  විශේෂඥ කණ්ඩායම මෙහිදී  යළි තහවුරු කළේය.

මෙම විශේෂඥ සමාලෝචනය ඇගයීමට ලක්කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමාලෝචනය හරහා ලබාදෙනු ලබන නිර්දේශයන්  පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව  අමාත්‍යවරයා විශේෂඥ කණ්ඩායමට මෙහිදී පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික  කණ්ඩායම  පසුගිය 20 දින මෙරටට පැමිණ (24) දින දක්වා සමාලෝචන කටයුතු සිදු කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *