නුවරඑළිය නගර මැද සහ නගරය අවට කසල විමානයක් කළ කොහුල් වසන්තය – නගර සභාව හා මාර්ග සංවර්ධන අධිකාරිය කබ ඇදිල්ලක .
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය නගර මැද සහ නගරය අවට කසල විමානයක් කළ කොහුල් වසන්තය – නගර සභාව හා මාර්ග සංවර්ධන අධිකාරිය කබ ඇදිල්ලක .
2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් මහ නගර සභාව විසින් සකස් කර නොමැති අතර පානීය ජලය හා වැසිකිළි කැසිකිළි පහසුකම් නිසි ලෙස සපයා නොමැතිකමින් නුවරඑළිය නගර මධ්‍යයේ කොටසක් මිහිපිට අපායක් බවට පරිවර්තනය වී ඇති බව පාර්ශව රැසක් චෝදනා කරයි .
සෑම වසරකම අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියට පවත්වාගෙන යනු ලබන තාවකාලික කඩකාමර වලින් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ එම කඩකාමර පවත්වාගෙන යන අයවලුන්ගේ පානීය ජල අවශ්‍යතාවය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් නිසි අන්දමින් සැපයීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කරනු ලබයි ,
පසුගිය වසර වල තත්ත්වය එසේ නමුත් මෙම වසරේදී කසල කළමනාකරණය පිළිබඳ නුවරඑළිය මහනගර සභාව අවධානය යොමු කර නැති අතර සනීපාරක්ෂක පහසුකම් ද සපයා නොතිබීම කණගාටුවට කරුණක් බව ටෙන්ඩර් පදනම මත කඩ කාමර කුලියට ගෙන පවත්වාගෙන යන වෙළඳුන් චෝදනා කරති ,
එම වෙළෙඳ ප්‍රජාව වැඩිදුර අදහස් දක්වමින් මෙසේද කීය ,
අපි මේ කඩ අවුරුදු ගානක් තිස්සේ ගන්නවා ,
නිකන් නෙමේ අපි මේ කඩ අරන් තියෙන්නේ ලොකු මුදලක් යට කරලා ,
අපිට බොන්න වතුර ටිකක් වත් මහ නගර සභාවෙන් මේ වර සපයලා නැහැ ,
ඒ විතරක් නෙමේ අපිට පහසුකම් හරි විදියට සපයලත් නැහැ අඩුම තරමේ වැසිකිළියටවත් යන්න බැහැ පුදුම අප්‍රසන්න කමක් දැනෙන්නේ පිරිසිදුකම ගැන හිතද්දී ,
අපි මේ කඩකාමර හදල තියෙන තැන්වලින් කසල එකතු කරන්න නගර සභාවෙන් එන්නේ නැහැ ඒ කසල තැන් තැන්වල ගොඩගහලා තියෙන නිසා මිනිස්සු එන්නෙත් නෑ අපි බඩු ගන්න ,
ඒ මදිවට වැසිකිලි වල උතුරලා මේ පැත්තෙ ඉන්න බැහැ ගඳයි ,
මෙම තාවකාලික වෙළඳසැල් තුළ පවත්වාගෙන යන සුවඳ විලවුන් කඩේ ගාවකින් යනකොටවත් ඒවායේ සුවඳ එන්නේ නැහැ මේ වැසිකිලි ගඳට ,
මහ නගර සභාව ආදායම් උපයන එක පමණක් ඉලක්ක කර ගනිමින් මේ අහිංසක අපිට කරන්නේ ඇත්තටම ලොකු අසාධාරණයක්,
අවුරුදුවල අපිට මේ සේවාව හරියට දුන්නනම් ඇයි මේ අවුරුද්දේ විතරක් මෙහෙම කරන්නේ යනුවෙන් ඔවුන් පැවසීය ,
වෙළඳුන් නගන චෝදනා පිළිබඳ අප සොයා බැලූ විට නුවරඑළිය අතිශය ආකර්ෂණය දිනාගත් ගොල්ෆ් ක්‍රීඩා පිටිය අවට ඇති මෙම වෙළඳ සැල් ඉදිකර ඇති භූමිය පුරාවට කැලිකසල විශාල ප්‍රමාණයක් එකතු වී ඇති අතර ඒ අවට තිබෙන වැසිකිළිය වලද උතුරා යෑමක් අවධානයට ලක් විය ,
වෙළඳ ප්‍රජාව විසින් නගන චෝදනා හා අදාළ ප්‍රදේශය තුළ දක්නට ලැබෙන තත්ත්වය පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී උදංග බුද්ධික මහතාගෙන් මේ පිළිබඳ විමසීම සඳහා කිහිප වතාවක් උත්සාහ කළද ඔහු පිළිතුරු ලබාදීමට ප්‍රතික්ෂේප කළේය ,
ඉන් අනතුරුව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර මහතාගෙන් අප සිදු කළ විමසුමට ඔහු කියා සිටියේ එම කඩවලටයි නුවරඑළිය මහ නගර සභාවටයි කිසි සම්බන්ධයක් නොමැති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ටෙන්ඩර් මත ලබා දුන් එම කඩ කාමරවල කසල ඉවත් කරන්න මහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා ඇති බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ මහ නගර සභාවේ කිසිදු අනුමැතියකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරිය එම තාවකාලික කඩ ටෙන්ඩර් මගින් ලබාදී ඉදිකර ඇති බවය ,
මහ නගර සභාවේ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධව නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉන්ජිනේරු සම්පත් සමරනායක මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ වසන්ත සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ බිම් කොටස් තාවකාලික පදනම මත වෙළඳ සැල් ඉදිකිරීම සඳහා ලබා දෙන අතර එහි එක් රැස් වන කැළි කසල මහ නගර සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ,
කෙසේ වෙතත් මෙවර පසුගිය වතාවන්වලට පරිබාහිරව තාවකාලික වෙළඳ සැල්වලින් ඉවත් කරන කැලිකසල එකතු කිරීමට සහ පහසුකම් සැපයීම සඳහා බිම් කොටස් ලබා දී මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලැබුණු ටෙන්ඩර් මුදලින් සියයට 25ක මුදලක් නුවරඑළිය මහ නගර සභාව වෙත ලබා දෙන ලෙස පවසමින් හා ඉන් පසුව කසල ඉවත් කිරීම ඇතුළු පහසුකම් ලබා දෙන බවට පවසා නාගරික කොමසාරිස්වරයා විසින් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබෙන බවයි ,
එලෙස නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් සිදුකළද තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ටෙන්ඩර් මුදලින් එවන් මුදලක් වෙන්කර මහ නගර සභාවට ලබාදීමට බලතල නොමැත බැවින් උක්ත ලිපිය ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ඉහළ නිලධාරීන්ට යොමු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පැවසීය ,
කෙසේ වෙතත් අදාළ වෙළඳ සල් වලින් ඉවතට කසල එක් රැස් කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැතිකමින් වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව තමන් වෙත පැමිණිලි කර ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය .

