ලොවට උචිත පරිදි අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතුයි

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් සුරක්ෂිත රටක් බවට පත් කර ගැනීමට නම් ගුණාත්මක මානව සම්පතක් බිහි විය යුතු බවත්, එයට මූලික පදනම අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට රජය දැඩි කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවද, එම ගමනේදී එල්ල වන බාධා මැද නිශ්චිත ඉලක්කයක් සහ අරමුණක් ඇතිව ඉදිරියටම ගමන් කරන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් අද (31) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු “EDCS සිසු නැණ ප්‍රණාම” ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය (EDCS) සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාරගැනීමට සූදානම් වන සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන වැදගත් අවස්ථාවක් බවයි.

ලෝකය වේගයෙන් වෙනස් වන පසුබිමක, ආර්ථික හා පරිසර අර්බුද හමුවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාල සිසුන් එම වෙනස මෙහෙයවන්නන් හා ක්‍රියාකාරී කොටස්කරුවන් විය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

වසරකට ප්‍රාථමික අධ්‍යාපනයට එක්වන ලක්ෂ තුනකට ආසන්න සිසුන් අතරින් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ සීමිත 40,000ක් පමණක් බැවින්, එම දුර්ලභ අවස්ථාව රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිම ලෙස භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම අවස්ථාවට එක් වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, දූෂණයෙන් තොර පාලනයක් හේතුවෙන් මීට පෙර රුපියල් මිලියන 1200ක්ව තිබූ සමිතියේ මූල්‍ය ශක්තිය මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 1700 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවයි.

මෙවර වැඩසටහන යටතේ රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන් 2292 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 13.7කට අධික මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරිනමා ඇත.

1984 වසරේදී සිසුන් 15 දෙනෙකුට රුපියල් 3500ක මුදලක් ලබාදෙමින් ආරම්භ කළ මෙම වැඩසටහන වසර 41ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, වර්තමානය වන විට එක් සිසුවෙකුට රුපියල් 75,000 දක්වා ශිෂ්‍යාධාර පිරිනැමීම ගුරු පරපුරේ සාමූහික ශක්තිය පෙන්වන උදාහරණයක් බවද මෙහිදී අවධාරණය කරාය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *