රිපෝෂ වැඩසටහනට කොරියාවෙන් ඩොලර් මිලියන 10ක ආධාරයක්

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, දේශීයව ලබා ගන්නා ආහාර පද්ධති හරහා ශ්‍රී ලංකාවේ ජාතික ත්‍රිපෝෂ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා වන ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) සහ ශ්‍රී ලංකා රජය පසුගිය 29 දින සාකච්ඡා වාර්තාවට (Record of Discussion) අත්සන් තැබීය.

මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රදානයක් නිල වශයෙන් ලබා දෙන අතර, එමගින් උසස් තත්ත්වයේ බඩඉරිඟු දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ආනයන මත යැපීම අවම කිරීමටත්, දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණ වැඩසටහනේ තිරසාරභාවය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.

ගිවිසුම මගින් “Sow & Grow: Building Resilient Food Systems Of Higs Quality Maize In Srilanka For an Enhanced Thriposha Programme” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව ශ්‍රී ලංකා රජය සහ අදාළ ජාතික ආයතන විසින් මෙහෙයවනු ලබන අතර එය මෙම වසරේ ආරම්භ වීමට නියමිතය.

බඩඉරිඟු සැපයුමේ දේශගුණික අවදානම, ආනයනය මත යැපීම, අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානිය සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ ගැටලු ඇතුළු ත්‍රිපෝෂ නිෂ්පාදනයට බලපාන පද්ධතිමය අභියෝග සඳහා මෙම ව්‍යාපෘතිය විසඳුම් ලබා දෙනු ඇත.

අනුරාධපුරය, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් කාන්තාවන් සහ තරුණයින් ඇතුළුව කුඩා හා මධ්‍ය පරිමාණ බඩඉරිඟු ගොවීන් 7,500 කට පමණ මෙමගින් සහාය හිමි වේ. මෙහිදී දේශගුණයට හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, පසු අස්වනු කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සමඟ විධිමත් වෙළඳපල සම්බන්ධතා ඇති කිරීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් 650,000 කට අධික සංඛ්‍යාවකට සහ ගර්භණී සහ කිරි දෙන මව්වරුන් 330,000 කට වඩා වැඩි පිරිසකට පෝෂණ ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ජාතික ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ දේශගුණික අනුවර්තනය යන ඉලක්ක සපුරා ගැනීමට ද මෙය දායක වනු ඇත.

මෙම ගිවිසුම හරහා කොයිකා ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කරන තිරසාර සංවර්ධන විසඳුම් සඳහා වන කැපවීම යළිත් තහවුරු කර ඇත.

මෙම අත්සන් කිරීමේ අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීමේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන අතිගරු මියොන් ලී මහත්මිය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ථ බණ්ඩාර මහතා, WFP සහයෝගීතාව සඳහා වන හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. රුෂන්දන් මහතා, සහ ලෝක ආහාර වැඩසටහන (WFP) සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත හා රටේ අධ්‍යක්ෂ ෆිලිප් වෝඩ් මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වාණිජ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ත්‍රිපෝෂා සමාගම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *