නව සයිබර් තර්ජන හමුවේ අප සුරක්ෂිතද?
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් 2026 ජුනි 25 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සඳහා සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ රාජ්‍ය අංශය තුළ නායකත්වය මූලික කරගත් සයිබර් ආරක්ෂණ පාලන පද්ධතියක වැදගත්කම තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මෙම වැඩසටහන සඳහා අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා තීරණ ගන්නා නිලධාරීන් සහභාගී වූහ.
වැඩසටහනේදී වර්තමාන සයිබර් තර්ජන, රාජ්‍ය ආයතන වලට බලපාන නව සයිබර් අවදානම් සහ රාජ්‍ය අංශයේ ආයතන තුළ ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. එමෙන්ම, සයිබර් ප්‍රහාරවල වැඩිවන සංකීර්ණත්වය සහ රජයේ තොරතුරු පද්ධති හා අත්‍යවශ්‍ය ඩිජිටල් සම්පත් ආරක්ෂා කිරීම සඳහා පූර්ව සුදානම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද සහභාගී වූ නිලධාරීන් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානයක් යොමු වූයේ ශක්තිමත් සයිබර් ආරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නායකත්ව භූමිකාව පිළිබඳවයි. ඒ අනුව, ආයතනික මට්ටමින් උපායමාර්ගික නායකත්වය ලබාදීම, ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති හා ප්‍රමිතීන්ට අනුකූලතාව සහතික කිරීම සහ සයිබර් අවදානම් කළමනා කරණය ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමේ වගකීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, අත්‍යවශ්‍ය තොරතුරු සම්පත් ආරක්ෂා කිරීම, තොරතුරු ආරක්ෂණ නිලධාරීන් (ISOs) සහ සහකාර තොරතුරු ආරක්ෂණ නිලධාරීන් (AlSOs) වෙත අවශ්‍ය සහයෝගය ලබාදීම, සයිබර් සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ සුදානම ශක්තිමත් කිරීම සහ සියලුම කාර්ය මණ්ඩලය අතර අඛණ්ඩ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ වගකීම සහ වගවීම් පිළිබඳව ද අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු වරුක දමුනුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතා වර්ධනය කිරීමේ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, වර්තමාන සයිබර් ආරක්ෂණ අභියෝග, යහපත් පාලන ක්‍රමවේදයන් සහ රාජ්‍ය ආයතන වල සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විධායක නායකත්වයේ උපායමාර්ගර්ගික භූමිකාව පිළිබඳව ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම සහභාගි වූවන් සමඟ බෙදා හදා ගන්නා ලදී.

