මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් මහ රන්දෝලි පෙරහර අද

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී රෝහිත කුමාර විජේතිලක – මහනුවර

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අති උත්කර්ෂවත් අවසන් මහ රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ මහනුවර නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම පෞරාණික හා සංස්කෘතික වටිනාකමකින් යුත් පෙරහර ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික හා ජාතික උරුමයේ සුවිශේෂී සංකේතයක් ලෙස සැලකේ. අවසන් රන්දෝලි පෙරහර දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් මෙන්ම විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විටත් මහනුවරට එක්රැස් වී සිටිති.

අද පස්වරු 6.43ට ආරම්භ වන අවසන් මහ රන්දෝලි පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක පමණ දුරක් වීථි සංචාරය කර නැවත ශ්‍රී දළදා මාළිගාව වෙත ගෙවැදීමට නියමිතය.

රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග

පෙරහර හේතුවෙන් මහනුවර නගරය හා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනයට විශේෂ සීමා සහ වෙනස්කම් ක්‍රියාත්මක කෙරෙන අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

කටුගස්තොට සිට මහනුවර දෙසට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිස, දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

මහනුවර සිට කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමට හැකියාව පවතී.

තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර සහ දුම්රියපොළ ප්‍රදේශය ඔස්සේ ගමන් කළ හැකිය.

එහිදී කොළඹ දෙසට ගමන් කරන වාහන සඳහා එක් දිශාවක්ද, මහනුවර නගරය දෙසට ගමන් කරන වාහන සඳහා අනෙක් දිශාවද භාවිත කිරීමට අවශ්‍ය පරිදි රථවාහන මෙහෙයවීම් සිදු කෙරෙනු ඇත. රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු වීමටද හැකිය.

නගරයේ සිට අම්පිටිය හා තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ, රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

තවද බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය.

පල්ලිය පාර දෙපසටම ගමන් කළ හැකි පරිදි රථවාහන සඳහා වෙන් කර ඇති අතර, කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීම සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීම සඳහා විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකිය.

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පෙරහර මංගල්‍යය අවසන් වන හෙට (28) දිනය දක්වා ශ්‍රී ලංකා පොලිසිය විසින් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩපිළිවෙළ යටතේ මාර්ග බාධක ස්ථාපිත කිරීම, ආරක්ෂක රාජකාරි තර කිරීම, වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම සඳහා මඟ පෙන්වීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලිසියේ උපදෙස් පිළිපදිමින්, මාර්ග බාධක සහ රථවාහන වෙනස්කම්වලට සහය ලබා දෙමින්, ආරක්ෂිතව ගමන් කරන ලෙස ඉල්ලා සිටී.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ රන්දෝලි පෙරහර මෙරට ආගමික, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයට විශේෂ වැදගත්කමක් එක් කරන අතර, මෙවරද එය දෙස් විදෙස් ජනතාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

මාධ්‍ය ජාලය:

www.bbcmirrormedia.com | www.sfmnewslk.com | www.asianewsplusone.com | www.bbcmirror.lk | www.Lankawebnews.lk | www.ceylonwebrepoter.com | www.ceylonwebnews.com

humanrightspo.org

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *