ඉඩම් අයිතිය ලබාදෙන බවට පොරොන්දු වී බලයට ආ ආණ්ඩුවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළියේ ඒකාබද්ධ විපක්ෂයෙ සුළු පක්ෂ එකමුතුවෙන් චෝදනා.

රාගල මැදවත්ත ප්‍රදේශයේ වසර 30කට වැඩි කාලයක්   පදිංචිව සිටි පවුල් හයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (Land Reform Commission – LRC) අයත් ඉඩමකින් අධිකරණ තීන්දුවක් මත ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සුළු පක්ෂ එකමුතුව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

වතුකර ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන බවට මැතිවරණ පොරොන්දු ලබාදී බලයට පැමිණි ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල පදිංචිව සිටි ජනතාව අධිකරණ තීන්දු මත නෙරපීම තරම් පහත් තත්ත්වයකට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය සුළු පක්ෂ එකමුතුව චෝදනා කළේය.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ වලපනේ ප්‍රදේශයේ අධිකරණ තීන්දුවක් හේතුවෙන් ඉවත් කිරීමට ලක් වූ පවුල් හයක දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීම සඳහා (13) දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා දමිළ ප්‍රගතිශීලි සන්ධායේ උප සභාපති  රාධාක්‍රිෂ්ණන් රාජරාම් , පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුවරඑළිය වලපනේ පළාත් පාලන අපේක්ෂක මොහොමඩ් ඉල්ලියාස් , නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂයේ මහ ලේකම් වෙත්තලිංගම් මහේන්ද්‍රන් , ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ මහ ලේකම් ජීවන් රාජේන්ද්‍රන් ධර්මලිංගම් , හෙල්පින් හෑන්ඩ් සංවිධානයේ ලේකම් දර්මලිංගම් භාරති රාජා සහ හැටන් දිසා අධිකරණ නීතිඥ මෝහන් දාස් යන අයවලුන් එක්ව සිටියහ ,

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය සුළු පක්ෂ නියෝජිතයන් සහ නීතිඥවරයා මෙසේද අදහස් දක්වමින් පැවසූහ.

“අගතියට පත් වූ ජනතාව හමුවීමට අපි ඊයේ සහභාගි වුණා. එහිදී ඔවුන් මුහුණ දී සිටින දැඩි දුෂ්කරතා පිළිබඳ රටට දැනුම් දීම සඳහා තමයි අද මෙම මාධ්‍ය හමුව සංවිධානය කළේ.

පසුගිය 2019 වසරේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක පවුල් හයක් අනවසරයෙන් පදිංචිව සිටින බව පවසමින් ඔවුන් ඉවත් කිරීම සඳහා වලපනේ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළා. එහි තීන්දුව ලැබුණේ වත්මන් රජය බලයේ සිටින කාලසීමාව තුළ, දින කිහිපයකට පෙරයි.

අධිකරණ තීන්දුවක් ලැබුණත්, ඉඩම් අමාත්‍යාංශයට එම ඉඩම් නැවත එම ජනතාවටම ලබාදීමේ හැකියාව තිබෙනවා. එම ඉඩම් කලින් පදිංචිව සිටි ජනතාවට නැවත ලබාදීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.

නඩුව පවරා තිබුණේ පසුගිය රජයයි. නමුත් තීන්දුව ලැබුණේ වත්මන් රජය පාලනය කරන කාලයේදී. ඉඩම් අයිතිය ලබාදෙන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවට මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමේ හැකියාව තිබුණා. එහෙත් ඔවුන් එය නොකර තීන්දුව ලැබෙන තෙක් බලා සිටියා.

දැන් රජයට පක්ෂව තීන්දුව ලැබී ඇති පසුබිමක, ජනතාවගේ දුක සැබවින්ම තේරුම් ගෙන ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අභිලාෂයක් තිබේ නම්, එම ඉඩම් නැවත එහි පදිංචිව සිටි ජනතාවටම ලබාදිය යුතු බව අපි අවධාරණය කරනවා.

අපි කිසිසේත්ම අධිකරණ තීන්දුවට අභියෝග කරන්නේ නැහැ. අධිකරණ තීන්දුව නීත්‍යානුකූලයි. නමුත් දැන් එම ඉඩම් රජයට අයත් බැවින්, ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය ඉඩම් අමාත්‍යාංශයට තිබෙනවා.

දැනට එම ජනතාව අනාථ වී විවිධ ස්ථානවල තාවකාලික කූඩාරම්වල සහ කුලී කාමරවල, මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නොමැතිව ජීවත් වෙනවා. ඔවුන්ට තාවකාලික කූඩාරම් ඉදිකිරීම හෝ වෙනත් ස්ථානයක නිවාස ලබාදීම වෙනුවට, ඔවුන් කලින් පදිංචිව සිටි ඉඩම් නැවත ලබාදීමම වඩාත් සුදුසු සහ සාධාරණ විසඳුම බව අපගේ අදහසයි.”

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *