ගලගොඩඅත්තේ හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස සත්‍යක්‍රියාවක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් අද (10) මහනුවර දළදා මාළිඟාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
ඒ අනුව දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් සිදුකරන බවයි උන්වහන්සේ කියා සිටියේ.
මේ අතර, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර උන්වහන්සේ අයත් කෝට්ටේ පාර්ශවය සමඟ සාකච්ඡාවක් සඳහා එක්වන ලෙසයි.
තම සංඝ සභාව සහභාගි කර නොගෙන නායක ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ පෙරේදා සාකච්ඡාවක් සිදුකළ අයුරු මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත් වූ බව උන්වහන්සේ සඳහන් කළා.
ඥානසාර හිමියන් තම සංඝ සභාවේ භික්ෂුවක් වන බැවින් උන්වහන්සේ චීවරයේ තබා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ බලය ඇත්තේ ද තම සංඝ සභාවට බවයි උන්වහන්සේ යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.
කෙසේවෙතත්, පෙරේදා පැවති සාකච්ඡාවේදී අදාළ කරුණ සුදුසු පිරිදි විසදී නොමැති බව සිය විශ්වාසය බවද එම ලිපියේ සඳහන්.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවක් සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසත්, ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයට අදාළ ඇමතිවරු සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ පැමිණෙන ලෙසත්, මහනා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා වෙත පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.
මේ අතර, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ ආඥාවක් ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් අභියාචනාධිකරණයට ඊයේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධිකරණ අමාත්‍යංශ ලේකම්වරිය, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

