නුවරඑළිය මහ නගර සභාවේ කරළිය සුභසාධක සංගමයෙන් පාසල් දරුවන් 1200කට අභිප්‍රේරණ වැඩසටහනක්!
www.bbcmirror.lk | www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මත්ද්‍රව්‍ය හා තාක්ෂණයේ අනිසි බලපෑම්වලින් දරුවන් මුදවා ගැනීම අරමුණයි – සභාපති රිසාන් ලන්ත්‍රා
නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් 1,200කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ ළමා අභිප්‍රේරණ වැඩසටහනක් අද (06) පෙරවරු 10.00ට පැවැත්විණි. නුවරඑළිය මහ නගර සභාවේ කරළිය සුභසාධක සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා විසින් මෙහෙයවනු ලැබීය.
ළමා අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවීමේ විශේෂඥයෙකු වන මනෝජ් සමරසේකර මහතා මෙහිදී දරුවන්ගේ පෞරුෂ වර්ධනය, යහපත් ආකල්ප හා ජීවන කුසලතා වර්ධනය කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ අවදානම, ළමා අපචාරවලින් ආරක්ෂා වීම සහ ජංගම දුරකථන, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීමෙන් ඇතිවන හානි පිළිබඳව දරුවන් දැනුවත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ කරළිය සුභසාධක සංගමයේ සභාපති රිසාන් ලන්ත්‍රා මහතා පැවසුවේ සමාජයට වැඩදායී කර්තව්‍යයන් සිදුකිරීම තම සංගමයේ ප්‍රධාන අරමුණ බවයි.
“වර්තමානයේ දරුවන් තාක්ෂණයට ඇබ්බැහි වීම මෙන්ම මත්ද්‍රව්‍යවලට යොමු කිරීමේ ප්රවණතාවත් වැඩිවෙමින් තිබෙනවා. මේ තත්ත්වයෙන් දරුවන් මුදවාගෙන ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීමක් ලබාදීමේ අරමුණින් මෙවර පාසල් දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන සංවිධානය කළා. සමාජයට ප්‍රයෝජනවත් මෙවැනි කටයුතු ඉදිරියටත් සිදුකිරීමට අපේක්ෂා කරනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.


