පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, තැපැල්, දේශීය වෛද්‍ය හා ජනමාධ්‍ය විෂයන්ට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, තැපැල් හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්ට අදාළ ගැටලු හා අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී බකමුණ, ජයන්තිපුර, මැදිරිගිරිය, අත්තනකඩවල, ගලමුණ, පුලස්තිගම, අරලගන්විල, මනම්පිටිය යන ප්‍රාදේශීය රෝහල්, වැලිකන්ද, මැදිරිගිරිය යන මූලික රෝහල් මෙන් ම දියබෙදුම ග්‍රාමීය රෝහල, මින්නේරිය ආයුර්වේද රෝහල, අත්තනකඩවල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ජයසිරිපුර ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, තැපැල් සහ ජනමාධ්‍ය ඇතුළු රාජ්‍ය ආයතනයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලෙන් ඉවත් කෙරෙන සායනික හා සායනික නොවන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැරලිම සහ පුළුස්සා දැමීම සඳහා දාහකයක් සවි කිරීමට ඉඩම් කොටසක් නොමැති වීමේ ප්‍රශ්නයට ඉඩම් කොටසක් ලබාදීම, රෝහල මැදින් ගලා යන වාරි ඇළෙහි ජලය පිටාර ගැලීම මෙන් ම ඒ හේතුවෙන් සනීපාරක්ෂාව පිළිබඳව පැන නැගී ඇති ගැටලු පිළිබඳව විධිමත් පියවරක් ගැනීම සහ පොළොන්නරුව රෝහලේ අභ්‍යන්තර මාර්ග පිළිසකර කිරීම වැනි කරුණු මූලික වශයෙන් සාකච්ඡා කෙරිණි. එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර එම මොහොතේ ම සිදු කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
තව ද පොළොන්නරුව වකුගඩු රෝහලේ දැනට භාවිතාවට නොගන්නා ශල්‍ය උපකරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට එයට ගැළපෙන විද්වත් කමිටුවක් පත් කිරීමට සිදුවෙන බවත්, රෝහලේ කාර්ය මණ්ඩල ඌණතාවය පිළිබඳවත්, රෝහල ජාතික වශයෙන් සේවා සපයන රෝහලක් බවට පත් කිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා විය.
මින්නේරිය ආයුර්වේද රෝහලේ මානව සම්පත් හිඟය, පංචකර්ම රෝහල සඳහා ස්ථීර වෛද්‍යවරයෙකු නොමැති වීම වැනි පවතින අඩුපාඩු ඉදිරියේ දී විසඳීමටත්, රෝහල් වත්ත ආවරණය වන පරිදි අලි වැටක් සකස් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මගින් ක්‍රමවත් ඇස්තමේන්තුවක් කඩිනමින් ලබාදෙන ලෙසත් ඒ අනුව ඉදිරියේ දී අලිවැට ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
මැදිරිගිරිය රෝහලේ නිල නිවාස ඉදිරියෙන් ඇති පොදු ජනතාව භාවිත කරන මාර්ගය වසා නොදමා ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙසට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදීම ද මෙහි දී සිදු විය.
වැලිකන්ද මූලික රෝහල සංවර්ධනය කිරීමට පවතින ආර්ථික අර්බුද හමුවේ ප්රමුඛත්වයක් ලබා දිය නොහැකි නමුත් ඉදිරියේ දී ඒ සංවර්ධන කටයුතු කළ හැකි බවත් බකමූණ දියබෙදුම ග්‍රාමීය රෝහලට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබාදීමටත්, රෝහලේ පවතින අත්‍යවශ්‍ය අඩුපාඩු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
ප්‍රජා ජල සංවිධාන, ස්වේච්ඡා සමාගම්, පළාත් පාලන ආයතන පෞද්ගලික ජල අලෙවිකරුවන් විසින් ලබාදෙන ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු සඳහා නිසි නියාමන වැඩපිළිවෙළක් හා සුදුසු අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී ලක් විය. මීට අමතරව තැපැල් මලු ප්‍රවාහනය, ජනමාධ්‍යවේදීන් සඳහා හැදුනුම්පත් ලබාදීම, සුබසාධන හා පුහුණු කටයුතු ආදී විෂයන් පිළිබඳව ද සවිස්තර සාකච්ඡාවක් මෙහි දී සිදු විය

