නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නව එළවළු තොග එකතු කිරීමේ මධ්‍යස්ථානයක් .
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගෙන සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව එළවළු තොග එකතු කිරීමේ මධ්‍යස්ථානයක් අද (16) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ නන්දන බණ්ඩාර මහතා ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
නුවරඑළිය තරුණ ගොවි සභාව, දේශීය ගොවි හඬ සංවිධානය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම මධ්‍යස්ථානය “උඩරට ගොවි සන්ධානය” (Up Country Farmers Alliance Limited) නමින් ආරම්භ කර තිබේ.
මෙරට උඩරට එළවළු වෙළෙඳාමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වෙත අර්තාපල්, කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, බීට් ඇතුළු එළවළු විශේෂ රැසක් බෙදාහැරෙන අතර, එහි තීරණය වන තොග මිල ගණන් ජාතික වෙළෙඳපොළට ද සෘජුව බලපායි.
කෙසේ වෙතත්, ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ වූ දා සිට ගොවි සංවිධාන විසින් මිල තීරණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විවිධ අවස්ථාවලදී විවේචන හා දැඩි විරෝධයන් ඉදිරිපත් කර තිබේ.
ඔවුන් පවසන්නේ මිල දර්ශකයේ ප්‍රකාශිත මිලට වඩා අඩු මිලකට ගොවීන්ගෙන් එළවළු මිලදී ගෙන පසුව ඉහළ මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් අතරමැදි වෙළෙඳුන්ට වැඩි වාසියක් හිමිවන අතර ගොවියාට නිෂ්පාදන වියදමවත් ආවරණය කර ගැනීමට අපහසු තත්ත්වයන් උද්ගත වූ බවයි.
එමෙන්ම උඩරට එළවළු මිල තීරණය කිරීමේ බලය වෙළෙඳුන් සීමිත පිරිසක් අතට පත්වීම හේතුවෙන් මිල විචල්‍යතාවන් ඇති වූ බවට ද ගොවි නියෝජිතයෝ චෝදනා කරති.
ඇතැම් කාලවලදී විශාල පරිමාණ නිෂ්පාදකයන් හා නුවර එළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන්ගේ අස්වනු නෙළන සමයේ මිල ඉහළ මට්ටමක පවත්වාගෙන ගොස්, පසුව එය සීඝ්‍රයෙන් පහත හෙළන ක්‍රමවේද ක්‍රියාත්මක වූ බවට ද ඔවුන් සඳහන් කරති.
මෙම තත්ත්වයට විකල්පයක් ලෙස ආරම්භ කර ඇති නව තොග එකතු කිරීමේ මධ්‍යස්ථානය මඟින් ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගැනීම, විනිවිදභාවයෙන් යුතු මිල ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, අතරමැදි පාර්ශ්ව මත රඳා පැවැත්ම අවම කිරීම සහ ගොවියාට ලැබෙන ආදායම ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සංවිධායකයෝ පැවසූහ.
මෙරට කෘෂිකාර්මික අංශයේ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට ලක්වන ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා ගෙවන මිල අතර පරතරය අවම කිරීම සඳහා මෙවැනි සෘජු අලෙවි ජාලයන් වැදගත් පියවරක් වන බව ද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අදහස වී තිබේ.
මේ අතර, මෙම මධ්‍යස්ථානයට සමගාමීව නව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයක් ද පිහිටුවීමට කටයුතු කරන බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
එමඟින් ගොවීන්, වෙළෙඳුන් සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් විධිමත් හා සාධාරණ වෙළෙඳ පද්ධතියක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
නව උඩරට එළවළු තොග මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට සහ නව ව්‍යවසායකයන්ට නව ආර්ථික අවස්ථාවන් උදාකර දෙන සුවිශේෂී පියවරක් බව නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ නන්දන බණ්ඩාර මහතා පැවසීය.
මෙම මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, නව ව්‍යවසායකයන් බිහිකිරීමේ ජාතික වැඩසටහනට ශක්තියක් එක් කරන මෙම වැඩපිළිවෙළ මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට හැකි වන බවයි.
තවද, ගොවියාට සාධාරණ මිලක් හිමි කරදීම සහ අතරමැදියන් වෙත ගලා යන ලාභයේ වැඩි කොටසක් ගොවි ජනතාව අතට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද ඒ මහතා අවධාරණය කළේය.
“ආරම්භයේ සිටම ගොවීන්ට විශ්වාසය තැබිය හැකි, විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ වෙළෙඳ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළහොත්, ගොවි ජනතාව දිගුකාලීනව මෙම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගනු ඇත.
එමඟින් ගොවීන්ගේ ආදායම ඉහළ නංවා, දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළ තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇත,” යැයි නන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
ගොවියාගේ නිෂ්පාදන ගොවියාටම සෘජුව අලෙවි කළ හැකි වෙළෙඳ ජාලයක් ගොඩනැගීම මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව නුවරඑළිය ගොවි සන්ධානයේ හා දේශීය ගොවි හඬ සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා සහ එහි නුවරඑළිය සංවිධානයේ ලේකම් හසිත වීරසිංහ මහතා මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.
නව උඩරට එළවළු තොග මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඔවුන් සඳහන් කළේ, ගොවියාගේ අස්වැන්නට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ගොවි සමාගමක් හරහා පාරිභෝගිකයන් වෙත සෘජුවම එළවළු සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.
මෙම වැඩපිළිවෙළ මඟින් අතරමැදියන් වෙත ගලා යන ලාභයේ වැඩි කොටස ගොවි ජනතාවටත්, සාධාරණ මිලකින් ගුණාත්මක එළවළු ලබා ගැනීමේ වාසිය පාරිභෝගිකයන්ටත් හිමි වන පරිදි තිරසාර වෙළෙඳ ක්‍රමවේදයක් ගොඩනැගීම අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කළහ.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර, ඉදිරියේදී දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ කර ජාතික මට්ටමේ ගොවි වෙළෙඳ ජාලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.
තවද, ගොවි සමාගම මඟින් වෙළෙඳපොළට නිකුත් කරන එළවළු පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි සන්නාමකරණය කර, ප්‍රමිතියෙන් යුතු, විශ්වාසනීය සහ ගුණාත්මක සේවාවක් සැපයීම තම අරමුණ බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


