2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කරමින් දියවඩන නිළමේවරයා ඇතුලු නිළමේ වරුන් විසින් පෙරහර සංදේශය රාජ්‍ය නායකයා වෙත පිළිගැන්වීමේ සාම්ප්‍රදායික උත්සවය
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී රොහිත කුමාර විජේතිලක මහනුවර
මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් මල්වතු – අස්ගිරි මහ නා හිමිවරු ප්රමුඛ මහා සංඝරත්නයටත්, පෙරහර කටයුතු වෙනුවෙන් කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන්ටත්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් ප්රමුඛ ඊට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ අප අපේක්ෂා කරන ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැගීමේදී දළදා පෙරහර ප්රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යය ඉතා වැදගත් බවයි.
එසේම, පාරම්පරික කලා සංගම් රැක ගන්නා අතරම, රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතියක් ලෙස අප මුහුණ දී තිබෙන අහිතකර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කිරීමට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කළේය.
අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් නියත ලෙසම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතු බවත්, ධනය සහ බලය වටිනාකම් බවට පත් කරගත් වත්මන් සමාජය තුළ වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දිය යුතුව ඇති බවත්, එකිනෙකා කෙරෙහි ඇති මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව සමාජ වටිනාකම් බවට පත්විය යුතුව ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
මෙම අවස්ථාව ජාතියක් ලෙස අපිට ඉතා වැදගත් අවස්ථාවක්. අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ දින සිට මෙම පෙරහර මංගල්‍ය ඉතා ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වා තිබෙනවා. මෙවරද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහර මංගල්‍යය සමග එක්ව තිබෙනවා.
අඛණ්ඩව ශත වර්ෂ ගණනාවක් මෙම දළදා මංගල්‍යය පවතින්නේ අපේ බෞද්ධ ජනතාවත්, ජාතියේ සංස්කෘතියත්, ප්‍රෞඪත්වයත් මේ තුළ ගැබ් වී තිබීම නිසයි. ඒ වගේම දළදා වහන්සේ අපේ රාජ්‍යයේ උරුමය බවට පත්ව තිබෙනවා. අපේ රට විවිධ නියංසායවලට, දුර්භික්ෂවලට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකම දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම අතීත රජවරු සහ මුතුන් මිත්තන් තම දෙවුරු මත තබා ගත්තා. ඒ නිසා රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර අත්හැරිය නොහැකි බැඳීමක් ඇති ඉතිහාසයක් අපිට තිබෙනවා.
අපගේ ඓතිහාසික සංස්කෘතික උරුමය,
මම හිතනවා අපේ අමාත්‍යාංශවල සහ සෑම ආයතනයකම සංස්කෘතික සමාජයක් ගොඩනැගිය යුතුයි. රටේ සෑම සංස්කෘතික අවස්ථාවකටම එම කණ්ඩායම් සහභාගී කරවිය යුතුයි. පාරම්පරික කලා සංගම් රැක ගන්න අතරම ඉන් ඔබ්බට ගොස් රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය වෙනවා.
අද ගම්, නියම්ගම් කරා විසුරුණු මත්ද්‍රව්‍ය රකුසාට අපි ජාතියක් ලෙස බිලි වෙමින් තිබෙනවා. මෙය තව දශක දෙක තුනක් ඉදිරියට පැවතුණහොත් සියලු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. මේ රටේ සමාජ පාදම කඩා වැටෙන අභියෝගයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඬත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් අපි නියත වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය මර්ධනය පමණක් නොවෙයි අපේ තරුණ පරපුර නව ආශ්වාදජනක සමාජයකට ගෙන ආ යුතුයි. එහිදී මම හිතනවා දළදා පෙරහර ප්රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යය ඉතා වැදගත් වෙනවා.
දෙමාපියන්ට, අපේ සමාජයට නව වටිනාකම් හඳුන්වා දිය යුතුයි. අද වටිනාකම් මොනවාද ඇහුවොත් ධනය සහ බලය වටිනාකම් බවට පත්ව තිබෙනවා. ඒ නිසා වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දෙමින් අපේ වටිනාකම් අලුත් තැනක පිහිටුවිය යුතුව තිබෙනවා. එකිනෙකා කෙරෙහි ඇති වන මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව වටිනාකම් බවට පත්විය යුතුයි. එසේ නොවුණහොත් අපිට දියුණු රටක් ගොඩනගන්න බැහැ.
ඒ නිසා මේ පෙරහර මංගල්‍යය හුදු අලංකරණය පමණක් නොව, වැදගත් හරයක් අපේ සමාජයට පිළිබිඹු කරනවා. අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින විනාශකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ ඇස් ඉදිරිපිට සියල්ල විනාශ වන යුගයක් නිර්මාණය වෙනවා.
මිනිස් ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයක් ලෙස අද අපේ පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා. ස්වභාවික ව්‍යසනයන්ට අපිට ජාතියක් ලෙස ඔරොත්තු දිය හැකියි. හැබැයි ස්වභාවික ව්‍යසනයන් මාරාන්තික ව්‍යසනයක් බවට පත් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙනයි. ඒ නිසා පරිසරය සහ මිනිසා අතර තිබෙන බැඳීම තහවුරු විය යුතුයි. අද මුළු සමාජයටම ආපසු හැරී අපේ ගමන් මග පිළිබඳ මෙනෙහි කිරිමේ අවස්ථාවක් පැමිණ තිබෙනවා. අපි දෑස් බැඳගෙන අන්ධයින් මෙන් ගමන් කළ යුගය අවසන් කළ යුතුයි. අපි සියලු දෙනා අතීත ආවර්ජනයකට පැමිණ වෙනස් කරගත යුතු තැන් යුහුසුළුව වෙනස් කරමු. අතීතයේ සිදු වූ දේ විමසමින්, යහපත් දේ ආරක්ෂා කර ගනිමින් සහ කිසිදු පැකිළීමකින් තොරව අයහපත් දේ වෙනස් කිරීමට මැදිහත් වෙමු. එම කාර්යභාරය ඉටු කිරීමට එක්වන ලෙස සියලු දෙනාට මම ආරාධනා කරනවා.

