“විද්‍යාව වෙළෙඳපොළට – 2026” (Science-to-Market – 2026) හෙට BMICH හි දී…

www.bbcmirror.lk

www.Lankawebnews.lk

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජාතික විද්‍යා සතියේ ප්‍රධානතම වැඩසටහන වන “විද්‍යාව වෙළෙඳපොළට – 2026” (Science-to-Market – 2026) වැඩසටහන  නොවැම්බර් මස 13 සිට 15 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරවරු 9.30 ට (BMICH) පැවැත්වේ. ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (National Innovation Agency – NIA) ඇතුළු අනුබද්ධ ආයතනයන්හි සහයෝගයෙන් එය ක්‍රියාත්මක කෙරේ.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පර්යේෂකයන් සහ පර්යේෂණ ආයතන, නව නිපැයුම්කරුවන්, නවෝත්පාදකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ විශ්වවිද්‍යාල ආශ්‍රිතව බිහිවන නව ව්‍යාපාර (University Spin-offs) පෞද්ගලික අංශයේ ආයෝජකයන්, සමාගම්වල මිලදී ගැනීමේ නියෝජිතයන්, අපනයනකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ සම්බන්ධ කිරීමයි. පර්යේෂණ මත පදනම් වූ තාක්ෂණික නිර්මාණ සහ මූලාකෘති (Prototypes) ප්‍රදර්ශනය කිරීම මෙන්ම ව්‍යාපාරික සබඳතා සහ හවුල්කාරිත්වයන් ගොඩනැඟීම සඳහා පහසුකම් සැලසීම තුළින් පර්යේෂණ සහ ඒවාහි වාණිජමය භාවිතය අතර පවතින පරතරය අවම කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන තුළින් පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට එක් කරමින් දැනුම හුවමාරු කර ගැනීමට, නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ඒවා වාණිජකරණය කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.

ජාතික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, තාක්ෂණ හුවමාරුව ශක්තිමත් කිරීම සහ දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද නවෝත්පාදන වාණිජකරණය කිරීම දිරිගැන්වීම තුළින් දේශීය පර්යේෂණ හා නවෝත්පාදන ආර්ථිකමය වටිනාකමක් සහිත නිෂ්පාදන හා සේවා බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.

මෙම වැඩසටහනේ සෙසු ප්‍රතිලාභ ලෙස පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට නැඟී එන නව තාක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, විද්‍යාත්මක උනන්දුව වර්ධනය කර ගැනීමටත්, රටේ පර්යේෂණ හා නවෝත්පාදන පද්ධතිය සමඟ සම්බන්ධ වීමටත් අවස්ථාව උදා වේ. විශේෂයෙන්ම ග්‍රාමීය ව්‍යවසායකයන් ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට, නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.

නිත්‍ය සිල්වා

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *