නුවරඑළිය සතිපොළ කුණු කන්දක් වෙයි – වැසිකිළි අපද්‍රව්‍යත් පොළ භූමිය පුරා පිටාර ගලයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වෙළෙඳුන්ටත් පාරිභෝගිකයන්ටත් දැඩි පීඩා – මහ නගර සභාවේ නිහඬ පිළිවෙතට ජනතා විරෝධය

සංචාරක පුරවරයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති නුවරඑළිය නගරයේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ වගකීම දරන නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය සතිපොළ අද වන විට කසළ බැහැර කරන ස්ථානයක් බවට පත්ව ඇති අතර, වැසිකිළි පද්ධතියේ අපද්‍රව්‍ය පිටාර ගැලීම හේතුවෙන් එහි වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව දැඩි සෞඛ්‍ය අවදානමකට මුහුණ පා සිටිති.

නුවරඑළිය නගර සීමාව තුළින් ඉවත් කරනු ලබන කැළිකසළ හා විවිධ අපද්‍රව්‍ය මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කඩා ඉවත් කිරීම්වලින් බැහැර කරන ඉදිකිරීම් අපද්‍රව්‍ය ද, මාර්ග අලුත්වැඩියා කටයුතුවලදී කඩා ඉවත් කරන තාර සහිත ද්‍රව්‍ය ද සතිපොළ භූමිය තුළට රැගෙනවිත් ගොඩගසා තිබීම හේතුවෙන් එම පරිශ්‍රය තුළ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම පවා දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වෙළෙඳුහු චෝදනා කරති.

විශේෂයෙන්ම මහජනතාව දෛනිකව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන මෙම සතිපොළ භූමිය තුළ විවිධ වර්ගයේ අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් දුර්ගන්ධය පැතිර යන අතර, වෙළෙඳසල් පවත්වාගෙන යන පරිසරය ද අහිතකර තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මෙම තත්ත්වයට තවත් බරපතළ ගැටලුවක් එක්කරමින් සතිපොළ පරිශ්‍රයේ පිහිටි වැසිකිළි පද්ධතියේ වළවල් උතුරා යාමෙන් මළ අපද්‍රව්‍ය සතිපොළ භූමිය පුරා ගලා යන තත්ත්වයක් ද උද්ගත වී තිබේ.

ඒ හේතුවෙන් වෙළෙඳුන්ට පමණක් නොව, එහි පැමිණෙන කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන් සහ අනෙකුත් පාරිභෝගිකයන්ට ද දැඩි අපහසුතාවකට මුහුණදීමට සිදුව ඇති අතර, ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ස්ථානයක මෙවැනි සනීපාරක්ෂක තත්ත්වයක් පැවතීම බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

සතිපොළක් යනු නගරයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වන අතර, එහි පිරිසිදුකම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ වැසිකිළි පහසුකම් නිසි පරිදි පවත්වාගෙන යාම මහ නගර සභාවේ මූලික වගකීමකි. එහෙත් ජනතාවගේ මුදල් සහ වෙළෙඳුන්ගෙන් අයකරනු ලබන ගාස්තු මත පවත්වාගෙන යන මෙම ස්ථානය මෙවැනි තත්ත්වයකට පත්ව තිබීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොවීම දැඩි විවේචනයට ලක්ව තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ගැටලුව අද ඊයේ ඇති වූවක් නොවීමයි. පසුගිය මහ නගර සභා පාලන සමයන්හි සිටම මෙම තත්ත්වය පිළිබඳව විවිධ අවස්ථාවලදී අවධානය යොමු කරමින් මාධ්‍ය මගින් අනාවරණය කර ඇති අතර, වත්මන් මහ නගර සභා පාලනය බලයට පත්වීමෙන් පසුව ද අවස්ථා තුනකට ආසන්න වාර ගණනකදී මෙම ගැටලුව පිළිබඳව මාධ්‍ය ඔස්සේ කරුණු හෙළිදරව් කර තිබේ.

එසේ වුවද, මේ දක්වා එම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර නොමැති බවට වෙළෙඳුන් සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.

නගරයේ පිරිසිදුකම හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කෙරෙන පසුබිමක, නගර සභාව යටතේම පාලනය වන සතිපොළක් මෙවැනි කසළ ගොඩගැසීමේ ස්ථානයක් බවට පත්වීම බරපතළ පරස්පරතාවක් බව ද ජනතාව පෙන්වා දෙති.

මහ නගර සභාව විසින් නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය බහාලුම් පවා ලබාගත් පසුබිමක, එම නගර සභාව යටතේ පාලනය වන සතිපොළ භූමිය තුළම අපද්‍රව්‍ය මෙලෙස ගොඩගැසීම පිළිබඳව ද ජනතාව ප්‍රශ්න කරති.

එබැවින් මෙම ගැටලුව තවදුරටත් නොසලකා හැරීම වෙනුවට සතිපොළ භූමියේ ගොඩගසා ඇති සියලුම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම, වැසිකිළි පද්ධතියේ උතුරා යාමට හේතුව සොයා බලා එය නිසි පරිදි අලුත්වැඩියා කිරීම, සතිපොළ පරිශ්‍රය විෂබීජහරණය කිරීම සහ අනාගතයේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ස්ථිර අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

සංචාරක පුරවරයේ අලංකාරය සහ පිරිසිදුකම පිළිබඳව කතා කරන බලධාරීන්ට තමන්ගේම පාලනය යටතේ පවතින සතිපොළේ වෙළෙඳුන් සහ මහජනතාව මුහුණ දෙන මෙම ගැටලුව නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන ජනතාව, මාධ්‍ය මගින් අවස්ථා ගණනාවකදී කරුණු අනාවරණය කර තිබියදීත් ඒවා නොසලකා හැරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරති.

ජනතාවගේ අවසන් ඉල්ලීම වන්නේ, තවත් මාධ්‍ය අනාවරණයක් හෝ ජනතා විරෝධයක් ඇති වන තෙක් බලා නොසිට නුවරඑළිය මහ නගර සභාව වහාම මැදිහත් වී මෙම සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *