දියතලාව මුලික රෝහල (A) මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීමට පියවර BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දියතලාව මුලික රෝහල දැනට තිබෙන අක්කර 07 ක භූමි සීමාව තුළ (A ) මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළමු බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරය‌ා මේ බව සඳහන් කළේ පසුගිය දා දියතලාව රෝහලේ විශේෂ නිරික්ෂණයකට එක්වෙමිනි.
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම දියතලාව රෝහල මුලික රෝහලක් තත්ත්වයෙන් ඉවත් කිරීමක් නොවන බවත්, දියතලාව මුලික රෝහලේ පහසුකම් අඩු කර බණ්ඩාරවෙල මුලික රෝහල සංවර්ධනය නොකරන බව ද මෙම මුලික රෝහල් 02 ක ම අත්‍යාවශ්‍ය රෝහල් දෙකක් වන බැවින් රෝහල් දෙකටම අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රයේ සෞඛ්‍ය අවශ්‍යතා මෙන් ම ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන රෝහලක් ලෙස දියතලාව මුලික රෝහල හැදින්විය හැකි බවත්, එය විශේෂ තත්ත්වයක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම රෝහල ආරම්භ කර වසර 50 කට අධික කාලයක් සහ මුලික රෝහලක් ලෙස නම් කර වසර 25 ක කාලයක් ගත වුව ද මේ දක්වා මූලික රෝහලක තත්ත්වයෙන් රෝහල සංවර්ධනය වී නොමැති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම මත වර්තමාන දියුණු තත්ත්වයට රෝහල ගෙන ඒම පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නව ශල්‍ය ඒකකයක් සහ වාට්ටු සංකීර්ණයක අවශ්‍යතාවය රෝහලට තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය මෙන් ම අත්‍යාවශ්‍ය උපකරණ ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
දියතලාව මුලික රෝහලේ සිදු කළ නිරීක්ෂණයේ දී හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, බෝනොවන රෝග සායනය, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක සහ රෝගී නේවාසික වාට්ටු අමාත්‍යවරයා පරික්ෂාවට ලක් කළ අතර, අනතුරුව රෝහලේ පාලන අධිකාරිය සහ කාර්ය මණ්ඩලය සමග රෝහල් ශ්‍රවණාගාරයේ දී වි‌ශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
මෙහි දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල ගැටළු මෙන් ම ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල වෙත පැමිණ අඩුපාඩු සොයා බැලිමට කටයුතු කිරීම පිළිබදව රෝහල් කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට සිය කෘතඥතාව ද මෙහිදී පළ කළහ.
ස්වභාව සෞන්දර්යයේ අතිරමණීය පාරිසරික පද්ධතියක් කේන්ද්‍ර කර ගනිමින් අක්කර 07 ක භූමි ප්‍රමාණයක් පුරා ස්ථාපිත කර ඇති දියතලාව මුලික රෝහල 1971 වර්ෂයේ ආරම්භ කර ඇති අතර, 1999 දි මුලික රෝහලක් ලෙස උසස් කර ඇත. 167,968 ජනගහණයකට ප්‍රතිකාර සේවා රෝහල මගින් සපයනු ලබන අතර, විදේශිකයින් විශාල පිරිසකට ද දෛනිකව ප්‍රතිකාර සේවා ලබාදෙනු ලබයි. 2025 වසරේ ජුනි මාසය වන විට දියතලාව මුලික රෝහල මගින් සාමාන්‍ය සැත්කම් 2000 ක් පමණ සිදු කර ඇති අතර, නාරිවේද සැත්කම් 198 ක් ද සිදු කර ඇති බව දියතලාව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය තේජක සිරිවර්ධන මෙහි දී පෙන්වා දුන්නේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *