පිළිකා රෝගීන්ට ඇමරිකාවෙන් රුපියල් මිලියන 330ක ඖෂධ පරිත්‍යාගයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints ආයතනයේ Latter-day Saint Charities (LDSC) අංශය විසින් රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඔක්තෝබර් 14 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් මෙම ඖෂධ තොගයට අත්‍යවශ්‍ය පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක් ඇතුළත් වේ.

මේ අතර, මෙරට පුනරුත්ථාපන රෝහල් සහ මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සුෂුම්නාව ආශ්‍රිත ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂිත රෝද පුටු 600ක් ලබාදීමට ද එකඟතාව පළ කර ඇත. ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකාවේ යුටා (Utah) ප්‍රාන්තය පදනම් කරගත් අදාළ ආයතනය අතර නිල අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු විය.

අමාත්‍යාංශය වෙත ඖෂධ නිල වශයෙන් භාරදෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙන ලදී.

Latter-day Saint Charities ආයතනය නියෝජනය කරමින් එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ Lui Wing Chung Mickey මහතා සහ ආසියානු කලාපීය කළමනාකාරිනී Apapohn Pinsakol Saengsin මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.

පරිත්‍යාගයට Oxaliplatin (for injection) USP 100mg, Abiraterone Tablets USP 250mg සහ Methotrexate (for injection) USP 500mg/5ml ඇතුළු පිළිකා නාශක ඖෂධ වර්ග රැසක් ඇතුළත් වන බව සඳහන් වේ.

මෙම මානුෂීය දායකත්වය අගය කරමින් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ කෘතඥතාව පළ කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් සකස් කළ විශේෂ කෘතඥතා සහතිකයක් ද මෙහිදී පිරිනැමිණි. එම සහතිකය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා වෙත භාරදෙන ලදී.

රෝද පුටු ව්‍යාපෘතියේ දෙවන අදියර

සුෂුම්නා ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂිත රෝද පුටු 600ක් ලබාදීම අදාළ ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන මානුෂීය සහන වැඩසටහනේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2023 වසරේදී රෝද පුටු 570ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. එම රෝද පුටු දිවයින පුරා පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථාන හරහා අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙවර රෝද පුටු ලබාදීමත් සමඟ ඒවා නිවැරදිව තෝරාගැනීම, භාවිත කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව සිදුකිරීමට නියමිත මෙම පුහුණු වැඩසටහන සඳහා වෛද්‍යවරුන්, භෞතචිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන් සහ රෝද පුටු අලුත්වැඩියා වැඩමුළුවල කාර්ය මණ්ඩලය ඇතුළත් කිරීමට නියමිතය.

පිළිකා ප්‍රතිකාර සඳහා අඛණ්ඩ සහාය

අදාළ ආයතනය විසින් රෝද පුටු පරිත්‍යාගයට අමතරව, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක්, එනම් රුපියල් මිලියන 660ක් වටිනා අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ ද පරිත්‍යාග කර ඇති බව සඳහන් වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ද සහභාගී විය.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීම මෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ට සුදුසු උපකරණ සහ පුහුණු සේවා ලබාදීම හරහා මෙරට සෞඛ්‍ය හා පුනරුත්ථාපන සේවාවන්ට සහාය සැලසීම මෙම වැඩසටහන්වල අරමුණ වේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *