මැදකුඹුර වතුයායේ ‘අනාගතයේ දරුවෝ’ මැයෙන් අති සාර්ථක වෛද්‍යය සායනයක්.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් වෙනුවෙන් සංවිධාන කළ ‘අනාගතයේ දරුවෝ’ (Children of Tomorrow) වෛද්‍ය සායනය ඔක්තෝබර් 3 වැනිදා දවස පුරා නුවරඑළිය තලවාකැලේ මැදකුඹුර වතුයායේදී සාර්ථකව පැවැත්විණි.ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. ආයතනය, කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ මෙල්ස්ටා රෝහල එක්ව මෙම වෛද්‍ය සායනය පැවැත්වීම සඳහා දායකත්වය ලබා දී තිබිණ .
මෙම වැඩසටහනේ නිල ආරම්භක උත්සවය ඔක්තෝබර් 02 වැනිදා මැදකුඹුර වතුයායේදී පැවැති අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස ලියොන් රංජිත් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්, වෛද්‍යවරුන්, නිලධාරීන් සහ අදාළ ආයතනවල නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
වතු ප්‍රජාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වෛද්‍ය සායනය සංවිධාන කර තිබිණි.
මෙල්ස්ටා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සුදුසුකම් ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැති සායනයේදී වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය පරීක්ෂණ, පෝෂණ උපදෙස් ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා රැසක් ප්‍රතිලාභීන් වෙත ලබා දෙන ලදී.
වතු ප්‍රජාවෙන් මෙම වැඩසටහන සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, වයස අවුරුදු 1ත් 5ත් අතර දරුවන් 270කට ආසන්න සංඛ්‍යාවක් සහ මව්වරුන් 150 දෙනකු පමණ මෙම වෛද්‍ය සායනයට සහභාගී වී සෞඛ්‍ය, වෛද්‍ය සහ පෝෂණ සේවා ලබාගෙන ඇත.
වතු ප්‍රජාවේ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න හා යහපත් අනාගතයක් උදාකර දීම සඳහා මෙම වැඩසටහන වැදගත් සමාජ මෙහෙවරක් ලෙස සැලකිය හැකිය.

