බන්ධනාගාරගත කරන හිමිවරුන්ගේ චීවරය සම්බන්ධව, අධිකරණ අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 08 වැනි දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන්වහන්සේ සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අදහස් පළ කළ අමාත්‍යවරයා,

“පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇතිවුණු තත්ත්වයන් සම්බන්ධයෙන් 2024/10/8 දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සමග ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ සාකච්ඡාවට මමත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මැතිතුමාත් සම්බන්ධ වුණා.

එහිදී සාකච්ඡා වූ කරුණු අනුව බන්ධනාගාර ආඥා පනත, එහි පනවා ඇති නිත්‍ය නියෝග, රෙගුලාසි සම්බන්ධයෙන් ඒවා යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට තීරණය වුණා.

ඒ අනුව ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති, රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපති ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා මහතා පත් කරනු ලැබුවා.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක මහතා සාකච්ඡාවලට සම්බන්ධ වුණා.

එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් සති දෙකක් ඇතුළත ගැටලුව විසඳීමට පියවර ගන්නා බවට ගෞරවනීය ස්වාමීන්වහන්සේට පොරොන්දු වූණා.

ඒ අනුව කමිටුව විසින් අතුරු වාර්තාවක් මේ වන විට ජනාධිපතිතුමා වෙත භාර දී තිබෙනවා. එහි පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් මා වෙත ලැබි තිබෙනවා.

එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට 356(අ) යනුවෙන් කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කොට තිබෙනවා.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක් ලබාදී තියෙනවා.

එමෙන්ම යම් හෙයකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙක් වුවහොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා.

එමෙන්ම නිත්‍ය නියෝග 550ට අලුතෙන් කොටසක් එකතු වී සංශෝධනයක් එනවා. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාව වඩාත් පැහැදිලි කරනවා, නම් ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා.

අයත් පාර්ශ්වයෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු ඒ අයිතිය තිබෙනවා.

මෙම කරුණු දෙක මේ සංශෝධනයේ මූලික හරයයි.

මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙනවා.

ඒ අනුව දැනට බලාත්මක එම නිත්‍ය නියෝග සංශෝධනය කොට මෙහි නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබාදී තියෙනවා.”

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *