කොළඹ ගංවතුර අවදානම අවම කිරීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
කොළඹ නගරය සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් නිරන්තරයෙන් ඇතිවන ජල ගැලීම් හා ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන කිහිපයක ඒකාබද්ධ සහභාගීත්වයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 08 වැනිදා මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
කොළඹ නගරයේ ජලය බැසයාමට බාධා එල්ල වී ඇති ස්ථාන හඳුනාගැනීම, අවහිර වී ඇති කාණු හා ඇළ මාර්ග පිරිසිදු කිරීම, ජලාපවහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ වැසි ජලය කඩිනමින් බැසයාමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයට අයත් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ යන මැතිවරණ කොට්ඨාස පහම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ ජලය බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබේ.
ජල ගැලීම් අවදානම වැඩි සහ ජලාපවහන පද්ධති දැඩි ලෙස අවහිර වී ඇති ස්ථාන සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ක්ෂේත්‍ර පරීක්ෂණ හා පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත, බම්බලපිටිය හෙයිග් පාර, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර, කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රමය, කිරුළපන ස්ටැෆර්ඩ් පාර හා කිරුළපන ඇළ මාර්ගය, බේස්ලයින් මාර්ගය ආශ්රිත හීන් ඇළ, දෙමටගොඩ ආරාම පාර, මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය, ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර ඇතුළු ස්ථාන රැසක මෙලෙස පරීක්ෂණ හා අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරේ.
මෙම ඒකාබද්ධ මෙහෙයුමට ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් හා සේවක කණ්ඩායම් එක්ව සිටිති.
මෙහි විශේෂත්වය වන්නේ දැනට පවතින අවහිරතා ඉවත් කිරීමෙන් පමණක් නොනැවතී, කොළඹ නගරයේ ජලාපවහන පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දුර්වලතා හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමට ද අවධානය යොමු කිරීමයි.
ඒ අනුව අවශ්‍ය ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, ඇළ මාර්ග හා කාණු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ඉදිරියේදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය නොවැම්බර් 06 වැනිදා පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නගරයේ ප්‍රදේශ රැසක් පැය කිහිපයක් ජලයෙන් යටවීම මෙම වැඩපිළිවෙළේ අවශ්‍යතාව තවදුරටත් ඉස්මතු කළ සිදුවීමක් විය.
පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශවල ජලය එක්රැස්වීම හේතුවෙන් මාර්ග ගමනාගමනයට බාධා ඇති වූ අතර ජනතාවගේ දෛනික ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල විය.
කොළඹ නගරයේ ගංවතුර තත්ත්වයන්ට අධික වර්ෂාපතනය පමණක් නොව, දිගුකාලීනව විසඳුම් නොලැබුණු ජලාපවහන ගැටලු ද හේතු වී තිබේ. කාණු හා ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධනය, ජල මාර්ග අවහිර වන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම් සහ රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැතිවීම ඒ අතර ප්‍රධාන වේ.
එමෙන්ම පසුගිය කාලසීමාවන් තුළ ජලාපවහන පද්ධති නඩත්තුව හා අධීක්ෂණය විධිමත් නොවීම ද ගැටලුව තවදුරටත් උග්රවීමට බලපා ඇති කරුණක් ලෙස සැලකේ.
මෙවැනි තත්ත්වයන්ට දිගුකාලීන විසඳුම් ලබාදීම සඳහා එක් එක් රාජ්‍ය ආයතනය වෙන වෙනම කටයුතු කිරීම වෙනුවට, පොදු සැලැස්මක් යටතේ සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කිරීමේ වැදගත්කම ද මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරේ.
මෙම විශේෂ වැඩපිළිවෙළේ ක්ෂේත්‍ර කටයුතු අධීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද එක්ව සිටියේය.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සේවක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ නගරය වර්ෂා කාලයේදී නැවත නැවතත් ජලයෙන් යටවන තත්ත්වයෙන් මුදාගැනීම සඳහා මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ කොතරම් දුරට සාර්ථක වන්නේද යන්න එහි අඛණ්ඩ ක්‍රියාත්මක වීම සහ නිසි නඩත්තු කටයුතු මත තීරණය වනු ඇත.

